මුල්ලේරියාව දරුවාගේ මරණයේ සැකකරු අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
09

මුල්ලේරියාව දරුවාගේ මරණයේ සැකකරු අත්අඩංගුවට

මුල්ලේරියාව දරුවාගේ මරණයේ සැකකරු අත්අඩංගුවට

ඊයේ (08) මුල්ලේරියාව පොලිස් වසමට අයත් මාලබේ හල්බරාව ප්‍රදේශයේ වැඩබිමක කුඩා දරුවෙකුගේ මළසිරුරක් ඇති බවට මුල්ලේරියාව පොලීසියට තොරතුරක් ලැබී තිබුණි.

 

 

මුල්ලේරියාව පොලිස් වසමේ මාලබේ හල්බරාව ප්‍රදේශයේ වැඩබිමක පස් හැවිරිදි දරුවකු කැපුම් තුවාල සහිතව මියගොස් තිබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම ස්ථානයේ තණකොළ කපමින් සිටි පුද්ගලයකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

 

 

සැකකරු පාපොච්ඡාරණයේදී පවසා ඇත්තේ තමා තණකොළ කපන යන්ත්‍රය අලුත්වැඩියා කරන අතරවාරයේ එහි තලය වැදී දරුවා ඇදවැටුණු අතර බියට පත් තමන් දරුවා වීදුරු බෝතලයක කටු ඇනීමෙන් මියගිය බව හැඟවීමට ක්‍රියාකළ බවය.

 

 

මෙලෙස හමුවී ඇත්තේ හල්බරාව ප්‍රදේශයේ පදිංචි ජොනතන් මාර්ක් ෆොන්සේකා නමැති අවුරුදු 5යි මාස 6ක් වයසැති දරුවාගේ සිරුර  වන අතර දරුවා ලේ ගලන තුවාල සහිතව මියගොස් සිටියේය.

 

 

සිරුර ආසන්නයේ ලේ පැල්ලම් ද සහිතව කැඩුණු වීදුරු බෝතලයක් දක්නට ලැබුණු අතර දරුවාගේ එක් සෙරෙප්පුවක් ද ඒ අසල තිබුණ බව සඳහන් වේ.

 

 

අනෙක් සෙරෙප්පුව දරුවාගේ පයේ තිබෙන ආකාරය දක්නට ලැබුණ අතර වඩාත් හානි සිදුව තිබුණේ ඔහුගේ උදර ප්‍රදේශයට බව වාර්තා වේ.

 

 

ඊයේ (08) රාත්‍රියේ ම දරුවාගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මුල්ලේරියාව බෝවන රෝග විද්‍යායතනයේ මෘත ශරීරාගාරය වෙත රැගෙන යනු ලැබීය.

 

 

ඊයේ රාත්‍රියේ සිදුකෙරුණු මූලික විමර්ශනයේදී අනුමාන කෙරුණේ දරුවාට වීදුරු බෝතලයේ කටු ඇනී ඇති බවටය.

 

 

දරුවා මිය යාමට පැයකට පමණ පෙර එම ප්‍රදේශයේම පදිංචි තවත් කාන්තාවක් දරුවා එම වැඩබිමේ සිටින ආකාරය දැක තිබූ අතර ඇය පවසන්නේ එම අවස්ථාවේ තවත් පුද්ගලයෙක් ඒ අසළ තණකොළ කපමින් සිටි බවය.

 

 

අද (09) උදෑසන මුල්ලේරියාව හදිසි මරණ පරීක්ෂක චන්න පෙරේරා මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂණය සිදුකළේය.

 

 

දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකෙරුණු අතර එහිදී දරුවාගේ උදරයේ වම් පස කොටස තියුණු ආයුධයකින් කැපී ඇති බව අනාවරණ වී ඇත.

 

 

හෙට (10) පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් කිරීමට නියමිතය.

 

 

තණකොළ කපමින් සිටි පුද්ගලයා විසින් දරුවා වීදුරු බෝතලයක් උඩ වැටී මියගොස් සිටින බවට අසළ නිවැසියෙකු වෙත දන්වා ඇත.

 

 

බිඳී ගිය වීදුරු බෝතලයේ කොටස් ඇති ස්ථානය සහ දරුවා මිය ගොස් වැටී සිටි ස්ථානය අතර පරතරය අඩි හතරක් වන නමුත් එම පරතරය තුළ බිම කිසිදු ලේ පැල්ලමක් නොතිබීම පොලිසියේ සැකයට තුඩුදී තිබුණි.

 

 

පොලිසියේ නිරීක්ෂණය වී තිබුණේ මෙවැනි කුඩා දරුවකුගේ සිරුරට යටවී බෝතලයක් එතරම් කුඩා කැබලිවලට බිඳීයා නොහැකි බවයි.

 

 

මුල්ලේරියාව පොලීසිය විසින් මෙය මනුෂ්‍ය ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් අනාවරණය කර ගැනීම සඳහා කෙරෙන විමර්ශන වෙනුවෙන්අද දරුවා මියයන අවස්ථාවේ එහි සිටි බව කියන තණකොළ කැපූ පුද්ගලයාගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කෙරුණි.

 

 

තණකොළ කපමින් සිටි පුද්ගලයා කොට්ටාවේ පදිංචිකරුවකු වන අතර ඔහු පොලිසිය හමුවේ පාපොච්ඡාරණයක් සිදුකර තිබේ.

 

 

එහිදී ඔහු පවසා ඇත්තේ තම තණකොළ කපන යන්ත්‍රෙය් දෝෂයක් පරීක්ෂා කරමින් සිටි අතරතුර අසළ තිබූ වීදුරු බෝතලයක් එහි වැදී බිඳී ගිය බවය. වීදුරු බෝතලය බිඳී විසිරයාම වළක්වාගැනීම සඳහා තමා යන්ත්‍රෙය් තලය පසෙකට ගත් අවස්ථාවේ එය අසල සිටි දරුවාගේ උදර ප්‍රෙද්ශයේ ගැටුණු බවත්, ඉන් දරුවා තුවාල සහිතව ඇදවැටීමත් සමඟ තමා බියට පත්වූ බවත් තණකොළ කපමින් සිටි පුද්ගලයා පවසා තිබේ.

 

 

ඒ අනුව සැකකරු සඳහන් කර තිබුණේ දරුවා වීදුරු බෝතලයක් බිඳී එහි කටු ඇනීමෙන් මියගිය බව ඇඟවීම සඳහා ක්‍රියාකළ බවයි. පසුව තමා 119 හදිසි ඇමතුම් අංකය අමතා දරුවකු මියගොස් සිටින බව දැනුම් දුන් බවයි.

 

 

ඒ අනුව අද පස්වරුවේ මුල්ලේරියාව පොලීසිය මගින් 51 හැවිරිදි තණකොළ කපමින් සිටි පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබීය.

 

 

එම පුද්ගලයා හෙට (10) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මුල්ලේරියාව පොලීසියේ ස්ථානාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.

 

 

views

381 Views

Comments

arrow-up