රාගම ගැටුමට සම්බන්ධ 6 දෙනෙකු සහ රජයේ නිල රථය ගැන තොරතුරු හෙළි වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
02

රාගම ගැටුමට සම්බන්ධ 6 දෙනෙකු සහ රජයේ නිල රථය ගැන තොරතුරු හෙළි වෙයි

රාගම ගැටුමට සම්බන්ධ 6 දෙනෙකු සහ රජයේ නිල රථය ගැන තොරතුරු හෙළි වෙයි

රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසකට ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් 6 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

 

රාගම පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ, ඉන් සැකකරුවන් තිදෙනෙකු පොලිසියට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව ය.

 

තව ත් සැකකරුවන් දෙදෙනෙකු රෝහල්ගතව සිටියදී අත්අඩංගුවට ගත් බව ත් ඉන් එක් අයෙකු පොලිසිය වෙත රැගෙන ආ බව ත් ඔහු පැවසීය.

 

සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු සිද්ධිය ඇති වූ ඊයේ (පෙබ. 1) දින රාත්‍රියේ ම අත්අඩංගුවට ගෙන තිබිණි.

 

පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, අදාළ සිද්ධියට රාජ්‍ය අමාත්‍යවරයෙකු‌ගේ ආධාරකරුවන් පිරිසක් සම්බන්ධ බවට වන චෝදනා පිළිබඳව විමර්ශන සිදු කරන බව ය.

 

එහිදී මෙම පහර දීම සම්බන්ධයෙන් රාජ්‍ය ආයතනයකට අයත් නිල රථයක් හඳුනාගෙන තිබිණි.

 

මේ බව මහජන ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයකින් ද තහවුරු කර තිබේ.

 

ඒ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී රාගම පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ, එම නිල රථය පොල් සංවර්ධන අධිකාරියට අයත් මෝටර් රථයක් බවට හඳුනා ගත් බව ය.

 

රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ අද අලුයම සිදුවූ ගැටුමකින් වෛද්‍ය සිසුන් සිව් දෙනෙකු තුවාල ලබා තිබිණි.

 

තුවාල ලැබූ වෛද්‍ය ශිෂ්‍යයින්ගෙන් තිදෙනෙකු උතුරු කොළඹ ශික්ෂණ රෝහලට ත් එක් අයෙකු මීගමුව දිස්ත‍්‍රික් රෝහලට ත් ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.

 

රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමක් අතරතුර පිටස්තර පුද්ගලයන් 15 දෙනකු පමණ පැමිණ සිසුන්ට පහර දී ඇතැයි වාර්තා වේ.

 

පිටතින් ආ පිරිස රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ ආධාරකරුවන් බවට චෝදනා එල්ල වී තිබේ.

views

875 Views

Comments

arrow-up