වසර තුනකට පෙර අතුරුදන් වූ පොලිස් සැරයන්වරයාගේ ඩී එන් ඒ වාර්තාව තවමත් නැහැ දරු පවුල අසරණයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
17

වසර තුනකට පෙර අතුරුදන් වූ පොලිස් සැරයන්වරයාගේ ඩී එන් ඒ වාර්තාව තවමත් නැහැ දරු පවුල අසරණයි

වසර තුනකට පෙර අතුරුදන් වූ පොලිස් සැරයන්වරයාගේ ඩී එන්  ඒ වාර්තාව තවමත් නැහැ දරු පවුල අසරණයි

වසර තුනකට ඉහතදී මියගිය බව සැකකෙරන පොලිස් සැරයන් වරයෙකුගේ මරණය තහවුරු කරගැනීම සඳහා අවශ්‍ය ඩී එන් ඒ වාර්තාව තවමත් නිකුත් නොවීම හේතුවෙන්, ඔහුගේ බිරිඳ සහ දරු තිදෙනා ඉමහත් ලෙස අසරණ වී සිටින පුවතක්  වාර්තා වී තිබේ.

 

මෙම ඛේදජනක ඉරණමට ගොදුරුව සිටින රත්නපුර අයගම ප්‍රදේශයේ පදිංචි නිරූපා රණවීර මහත්මිය වයස අවුරුදු 4, 8 සහ 12 වයස් වල පසුවන දියණියන් තිදෙනකුගේ මවක් වන අතර, ඇගේ සැමියා වූ පොලිස් සැරයන් (39288) බංඩාර විජේකෝන් මුදියන්සේලාගේ සුමිත් අබේවර්ධන මහතා, කුරුවිට පොලිස් ස්ථානයට අනුයුක්තව සිරිපාගම මාර්ග බාධකයේ සේවය කරමින් සිටියදී 2020 වසරේ ඔක්තෝබර් 29 වන දින අතුරුදන් වී ඇති බව සඳහන් වේ.

 

ඔහුගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් කුරුවිට පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දිගින් දිගටම විමර්ශන කටයුතු සිදු කළ අතර, 2001 ජූලි මස 29 වෙනි දින ප්‍රදේශවාසියෙකු විසින් මුන්දලම පොලිසිය වෙත කරන ලද දැනුම්දීමකට අනුව මුන්දලම, මදුරන්කුලිය, සෙම්බැට්ට ප්‍රදේශයේ ලඳු කැලෑවක තිබී 9 එම්. එම්. වර්ගයේ ගිනි අවියක්, එයට යොදන පතොරම් 7 ක්, මිනිස් අස්ථි කොටස් කීපයක් පොලිස් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ හැඳුනුම්පතක් හා රියැදුරු බලපත්‍රයක් හමුව තිබේ.

 

මෙම සිද්ධිය මාධ්‍ය තුළින් වාර්තාවීමත් සමග, අතුරුදන්ව සිටි පොලිස් සැරයන්වරයාගේ බිරිඳ වන නිරූපා රණවීර මහත්මිය ඥාතීන් පිරිසක් සමග පැමිණ පොලිස් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද හැඳුනුම්පත හා රියැදුරු බලපත්‍රය ඔහුට අයත් බවට හඳුනා ගත් අතර, ඉන් අනතුරුව අස්ථි කොටස් හා පිස්තෝලය වාර්තා ලබා ගැනීම සඳහා රස පරීක්ෂක වෙත යොමු  කරන ලදී.

 

එම පිස්තෝලය පොලිස් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ එකක් බව තහවුරු කරමින් රස පරීක්ෂකවරයා විසින් වාර්තා එවා ඇති නමුත් අස්ථි කොටස් සම්බන්ධ ඩී එන් ඒ වාර්තා තවමත් ලැබී නැතැයි මුන්දලම පොලිසිය සඳහන් කරන අතර, එසේ පමා වීමට හේතුවක් ද මෙතෙක් දැනුම් දී නැති බව රණවීර මහත්මිය කියා සිටින්නීය.

 

මෙය සියදිවි නසාගැනීමක් බවට පොලිසිය විසින් කරන ප්‍රකාශ එකහෙලා ප්‍රතික්ෂේප කරන ඇය තම සැමියාගේ මරණය ඝාතනයක් බවට පුන පුනා කියා සිටින්නේ, ඔහුට සියදිවි නසා ගැනීමට කිසිම හේතුවක් නොමැති බව තහවුරු කරමිනි.

 

මෙහි ඇති වඩාත්ම ඛේදනීය තත්වය වන්නේ ඔහුගේ මරණය පිළිබඳ තහවුරු නොවීම නිසා වසර තුනක් තිස්සේ අතුරුදන්ව සිටින මෙම සැරයන්වරයාට හිමි වැටුප නොලැබීමෙන් දියණියන් තිදෙනෙක් සමග මෙම කාන්තාව මහත් දුෂ්කරතා මධ්‍යයේ මේ වන විට අසරණ තත්වයට පත්ව සිටීමයි.

 

වසර 20ක් පුරා පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් සේවය සැලසූ තම සැමියාගේ මරණය වෙනුවෙන් සාධාරණය ඉටු කරදෙන්නැයි ඇය සියළු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නීය.
 

views

269 Views

Comments

arrow-up