වැලිගම අග්‍රබෝධි මාවතේ දුම්රිය හරස් මාර්ගයේ සීනු පද්ධතිය නිසා අවට ජනතාව අනතුරේ

වැලිගම අග්‍රබෝධි මාවතේ දුම්රිය හරස් මාර්ගයේ දුම්රිය ගේට්ටුව සඳහා යොදා ඇති සීනු පද්ධතිය දින කිහිපයක සිට අඛණ්ඩවම නාද වන බව ජනතාව පවසන අතර වැලිගම අග්‍රබෝධි මාවත මාර්ගයේ දුම්රිය ගේට්ටුව මෙසේ දැඩි අවදානම් ස්ථානයක් බවට පත්ව ඇති බව වාර්තා වේ.
පසුගිය කාල වකවානුව තුළ මෙන්ම ගෙවී ගිය දින කිහිපය තුළ ද දුම්රිය හරස් මාර්ග වල සිදු වූ රිය අනතුරු හේතුවෙන් වටිනා ජීවිත හානි රැසක් මෙන්ම බරපතල තුවාල සිදුවීම් ගණනාවක් දිවයිනේ නොයෙක් ස්ථානවලින් වාර්තා වී තිබේ.
වැලිගම අග්‍රබෝධි මාවතේ දුම්රිය හරස් මාර්ගයේ අනතුරු වළක්වා ගැනීම සඳහා උණ බම්බු ගේට්ටු යෙදීමට කටයුතු කළ අතර නොයෙකුත් ගැටලු සහ අභියෝග මධ්‍යයේ මෙම දුම්රිය ගේට්ටුව නිසි පරිදි පවත්වාගෙන යාමට ගේට්ටු මුරකරුවන් බලධාරීන් කටයුතු කර තිබෙන බව වාර්තා වේ.
එහෙත් මාස කිහිපයකට ඉහත දී දුම්රිය ගේට්ටු මුරකරුවන් ඉවත් කර දුම්රිය හරස් මාර්ග සඳහා පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන ඇත. නව තාක්ෂණික පහසුකම් යොදා ගැනීම සිදු කළත් නිරන්තරයෙන්ම මෙම පද්ධතියේ සිදුවන කාර්මික දෝෂ හේතුවෙන් දුම්රිය ගේට්ටුව දැඩි අවදානම් ස්ථානයක් බවට පත්ව තිබේ.
ජනතාව පෙන්වා දෙන්නේ, මෙම ස්ථානය පිළිබඳව අවස්ථා ගණනාවක දී බලධාරීන් දැනුවත් කළත් මේ දක්වා නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි. ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ, හැකි ඉක්මනින් දුම්රිය හරස් මාර්ගය සඳහා නැවතත් දුම්රිය ගේට්ටු මුරකරුවන් යොදවන ලෙසයි.
201 Views
Comments