හිටපු ඇමති බෑණා මගුරන්කඩවල කුඹුරු යාය බලෙන් අල්ලන්න යාමෙන් උණුසුම් තත්වයක්

වසර 20ට අධික කාලයක් ගොවින් පිරිසක් වී ගොවිතැන් කළ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් අක්කර 9කට ආසන්න කුඹුරු ඉඩම් රස්නායකපුර පොලිස්ථානාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් කිසිදු අයිතියක් නොමැති ව්‍යාපාරිකයෙකුට කම්බි ගසා කොටුකර දීමට කටයුතු කිරීමට යාමේදී ගොවීන් හා පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් මතුවීමත් සමග ගොවීන් 7 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම කුඹුරු වල වසර 20කට වැඩි කාලයක් වී හා ධාන්‍ය ගොවිතැන් කළ මගුරන්කඩවල පදිංචිකරුවන් පිරිසක් බව පොලිසිය සඳහන් කරයි.
මෙම මගුරන්කඩවල කුඹුරු යාය ගොවීන් වසර 20කට අධික කාලයක සිට වගා කරමින් සිටියදී එය අත්පත් කර ගැනීමට මෙම කුඹුරු යායට යාබද විශාල ඉඩමක් හිමි නිකවැරටිය හිටපු මන්ත්‍රීවරයකු වන යූ. බී. වන්නිනායක මහතාගේ බෑණනුවන් විසින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයදුම් කර තිබුණ ද ඒ සඳහා කිසිදු අවසරයක් ලබා දී නොමැති බව ඔවුන් සඳහන් කරයි.
එමෙන්ම රස්නායකපුර පොලිස්ථානාධිපතිවරයා තවත් පොලිස් නිලධාරින් දෙදෙනෙකු ද සමග පැමිණ අදාල ව්‍යාපාරිකයාට මෙම ඉඩමේ කම්බි ගැසීමටත් ඉන් පසුව ට්‍රැක්ටර් යොදා සී සෑමටත් අවස්ථාව ලබා දෙමින් පොලිස් ආරක්ෂාව සපයා ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
238 Views
Comments