අධික තෙල් සහිත සමෙන් මිදෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
16

අධික තෙල් සහිත සමෙන් මිදෙන්න

අධික තෙල් සහිත සමෙන් මිදෙන්න

සුන්දර සමක් කියලා කියන්නේ කාන්තාවකට ආභරණයක්. බොහෝමයක් කාන්තාවන් කැමැති තමන් අනෙක් කාන්තාවන්ට වඩා ලස්සනට ඉන්න, ලස්සනට අඳින්න, පලඳින්න ගමන් බිමන් යන්න වගේ දේවල් වලට. ඒ වෙනුවෙන් වර්තමානය වන විට තමාගේ දවසින් වැඩි ප්‍රමාණයක් රූපලාවණ්‍ය වෙනුවෙන් වෙන් කරන්නට ඔවුන් අමතක කරන්නේ නැහැ. රැකියාවක නියැලෙන කාර්ය බහුල ගෘහනියක් වුවද දවසේ කිසියම් හෝ වෙලාවක් තමාගේ රූපලාවණ්‍ය වෙනුවෙන් වෙන් කිරීම වර්තමානයේදී බහුලව දැකගත හැකිවේ. නමුත් ඔබට ඇත්තේ අධික තෙල් සහිත ස්වභාවයක් පවතින සමක් නම් එය ඔබට හිසරදයක් වී තිබෙන්නට පුළුවනි.

 

දිනකට කිහිප වරක් ෆේස් වොෂ් එකක් යොදා ගනිමින් මුහුණ සෙදුවද නැවතත් තෙල් ස්වභාවය මතු වීම පිළිබඳව ඔබට කණගාටු බවක් ඇතිවී තිබෙන්නට පුළුවනි. මෙවැනි තත්ත්වයකට බලපාන හේතු සාධක පිළිබඳව සහ ඉන් මිදීමට ඔබට කළ හැකි දේ පිළිබඳව මෙම ලිපිය හරහා ඉදිරිපත් කෙරේ. කිසියම් පුද්ගලයකුගේ මුහුණේ තෙල් පැහැති දිලිසෙන සමක් ඇතිවීමට ප්‍රධාන හේතු සාධකය වනුයේ එම පුද්ගලයාගේ ශරීරයෙන් සෙබම් නිපදවීම වැඩි වීමයි. එම නිපදවන තෙල් තට්ටුව සමග ස්වභාවිකවම ඔබගේ මුහුණේ හටගන්නා දහදිය එකතු වීමෙන් මෙම දිලිසෙන ස්වභාවය ඇති වීමට ඉඩකඩක් පවතී. ඇතැම් පුද්ගලයන්ට තෙල් සහිත සම ස්වභාවිකවම ඇතිවිය හැකි වුවද ඇතැම් අයට හෝමෝන වෙනස්වීම නිසාද සමේ තෙල් ප්‍රමාණය අධික විය හැක.

 

 

තවද විශේෂයෙන් ම කිසියම් කාන්තාවක් උපත් පාලන ක්‍රමයකින් මාරු වූ විට හෝ නැත්නම් ඇය ගැබ්ගෙන සිටින අවස්ථාවකදී තෙල් සහිත සමක් ඇතිවීමට ද ඉඩකඩක් පවතී. මෙහිදී දිලිසෙන සමක් යනුවෙන් හඳුන්වන්නේ විජලනය වූ සමකි. එම නිසා මෙම තත්වයෙන් ඈත් වීමට නම් ඔබ විසින් ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීමට හුරුවිය යුතු අතර සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවන්ට යොමුවීම ද ඉතාමත් වැදගත්. එවිට මෙම තත්ත්වය බොහෝ දුරට පාලනය කර ගැනීමට පුළුවනි. එමෙන්ම ඔබට හැකිනම් එම මේද තට්ටුව ඉවත් කිරීමට ස්ක්‍රබ් කිරීම ද හොඳ ක්‍රමයකි. නමුත් ස්ක්‍රබ් කිරීම එතරම් ඥානවන්ත විසඳුමක් නම් නොවේ. ස්ක්‍රබ් කිරීම හරහා ඔබගේ සමෙහි ඉහළ ස්තරයට හානි වීමක් සිදු කරන අතර එහි පවතින දිලිසෙන ක්‍රියාවලිය උත්තේජනය කිරීමක්ද සිදුවේ.

 

ස්ක්‍රබ් කිරීම වෙනුවට Salicylic acid සමග liquid exfoliant වර්ගයක් තෝරා ගැනීම වඩාත් සුදුසුයි. එමගින් ඔබේ සමේ පවතින මියගිය සෛල ඉවත්කර මින් සමට මෘදු බවක් ලබාදෙයි. ඔබ විසින් දිනපතාම උදේ සහ සවස ෆේස් වොෂ් එකක් භාවිතා කර මුහුණ සහ ගෙල ප්‍රදේශය හොදින් සෝදා ගැනීම ද අත්‍යවශ්‍ය කාරණයකි. ඉන්පසුව ෆේස් tonic එකක් ආලේප කිරීමට ද අමතක නොකරන්න. එය ඔබගේ මුහුණේ සිදුරු වැසීමට ඉමහත් උපකාරයක් වන අතර ඉන් අනතුරුව මුහුණට ආලේප කරන moisturizing ක්‍රීම් වර්ගයක් භාවිතා කිරීම ද වැදගත්. වර්තමානයේ දී බහුතරයක් කාන්තාවන් නිතරම makeup භාවිතා කිරීමට පුරුදු වී සිටින අතර ඔබ විසින් මේකප් කිරීමේදී ඔබේ මුහුණට foundation එක ගැල්වීමට පෙර ප්‍රයිමර් එකක් භාවිතා කිරීම වඩාත් සුදුසුයි. ඒ සඳහා වඩාත් යෝග්‍ය වන්නේ Mattifying primer එකකි. එමගින් ඔබේ සමෙහි පවතින සිදුරු සහිත ස්වභාවයන් අඩුවෙන් පෙනෙන අතර ඔබේ foundation එකද වඩාත් හොඳින් මුහුණෙහි පවතින බවට සහතික කරයි. තෙල් සහිත සමක් පිහිටීම හේතුවෙන් ඔබ තව දුරටත් සමාජයෙන් කොන් වී සිටීම අවශ්‍ය නොවේ. ඔබ විසින් කළ යුතු වන්නේ ඊට සුදුසු ප්‍රතිකාර ඉක්මනින්ම සිදුකර ගැනීමයි. එමගින් ඔබට වඩාත් සෞඛ්‍ය සම්පන්න නිරෝගී පැහැපත් සමක් හිමිකර ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත. පැහැපත් සහ නිරෝගී සමක් ඔබගේ පෞර්ෂත්වය සහ ආත්ම විශ්වාසය ද ඉහළ නංවන බව අමතක නොකරන්න.

 

 

 

 

 

 

 

by Sachini Sooriyaarachchi

Photo source : Internet

views

1202 Views

Comments

arrow-up