කොමඩු වලට වස දමා දී “අසේල” මරන්න හැදූ හිටපු ඇත්ගොව්වාට වැඩ වැරදුණු හැටි

කතරගම අභිනවාරාම විහාරස්ථානයේ වාසය කරන “අසේල” නමැති අලියාට විෂ සහිත රසායනික ද්‍රව්‍යයක් පැණි කොමඩු ගෙඩියකට දමා දී ඝාතනය කිරීමට තැත් කළ බව කියන සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කතරගම පොලිසිය පවසයි.
මෙම සිද්ධියට සම්බන්ධ තවත් අයකු පලාගොස් ඇති අතර, ඔහුවද අත්අඩංගුවට ගැනීමට පොලිසිය පුළුල් පරීක්‍ෂණයක් අරඹා තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයකු හිටපු ඇත් ගොව්වකු බවද පොලිසිය කියයි.
අවුරුදු 29 හා 39 යන වයස්වල පසුවන ඔවුන් බිබිල හා කතරගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
අත්අඩංගුවට පත් සැකකරුවකු පොලිසියට පවසා ඇත්තේ මීට පෙර “අසේල” නමැති අලියා භාරව සිටි බව කියන ඇත් ගොව්වා මත්පැන් පානය කිරීම, අලියාට හිරිහැර කිරීම ඇතුළු අක්‍රමිකතා හේතුවෙන් මීට මාස 6 කට උඩදී ඉවත් කර ඇති බවයි.
මේ හේතුවෙන් එම හිටපු ඇත් ගොව්වා විසින්ම විෂ රසායනික ද්‍රව්‍යයක් යෙදූ කොමඩු ගෙඩිය අලියාට දෙන ලෙසට උපදෙස් දුන් බවද සැකකරු පොලිසියට පවසා තිබේ.
ඒ අනුව මෙය සැලසුම්කර ඇත්තේ දැනට පලාගොස් සිටින පුද්ගලයා බවද හෙළිවී තිබේ.
පෙරේදා (19) කිසියම් පුද්ගලයකු “අසේල” අලියාට විෂ රසායනික ද්‍රව්‍ය යෙදූ පැණි කොමඩු ගෙඩිය ලබාදුන් පසු මුඛයෙන් එක්වරම එය බිම හෙළා ඇති බවත්, එහිදී අලියාද නොසන්සුන් වී මුඛයෙන් සෙම වගුරුවමින් සිටි බව තමා දුටු බවත් වත්මන් ඇත්ගොව්වා පොලිසියට පවසා තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා තිස්සමහාරාමය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
440 Views
Comments