පා පැදි පුහුණුව සිසුවාට මාරකයක් වූ හැටි

අපරීක්ෂාකාරීව සහ නොසැලකිලිමත්ව බස් රථයක් ධාවනය කර පා පැදි තරගයක් සඳහා පුහුණුවීම් කටයුතුවල යෙදී සිටී පාසල් සිසුවකුව හප්පා එම පාසල් සිසුවාගේ මරණය සිදුකිරීමේ චෝදනා සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු පුද්ගලික බස් රථ රියදුරු රිමාන්ඩ් භාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියන්ති ලියනආරච්චි මහත්මිය නියම කළාය.
රඹුක්කන, පිලිකුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන දර්ශන මධුසංඛ තිස්සදෙනිය නැමැති සැකකාර රියදුරු මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණි.
මිනුවන්ගොඩ, කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ කොටදෙනියාව, වල්පිට ප්‍රදේශයේ පිහිටි ගොවිපළ ඉදිරිපිටදී අලුයම කාලයේදී එම අනතුර සිදුව ඇති බවට අධිකරණයේදී සඳහන් විය.
එම අනතුරින් බරපතළ තුවාල ලැබූ කටුනායක හීනටියන පදිංචි 16 හැවිරිදි එල්.ඒ. තාරිෂ කව්මින සිල්වා නැමැති පාසල් සිසුවා දිවුලපිටිය, හොරගස්මුල්ල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එදිනම අලුයම මිය ගොස් ඇති බව පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.
අනතුරෙන් මිය ගිය පාසල් සිසුවා හීනටියන ධම්මාලෝක මහා විද්‍යාලයේ 11 වසරේ ඉගෙනුම ලබන සිසුවකු බවටද අධිකරණයේදී වැඩිදුරටත් සඳහන් විය.
මිය ගිය එම සිසුවා තවත් මිතුරකු සමග පා පැදි දෙකකින් පුහුණුවීම් කටයුතු වල නිරත වී ඇති බවත්, ඇඟලුම් කම්හල් සේවක සේවිකාවන් ප්‍රවාහනය කරන පුද්ගලික බස් රථය අපරීක්ෂාකාරීව සහ නොසැලකිලිමත්ව නියම මංතීරුවේ ධාවනය නොකිරීම හේතුවෙන් අනතුර සිදුවී ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
366 Views
Comments