“දෙන්නම මැරෙන්න හිතලා මුලින්ම එයාට විද්දා, මට විදගන්න බය හිතුණා” - බිරිඳට ඉනසියුලින් වැඩිපුර විද මරන්න හැදූ වෛද්‍යවරයාගේ පාපොච්චාරණය
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
03

“දෙන්නම මැරෙන්න හිතලා මුලින්ම එයාට විද්දා, මට විදගන්න බය හිතුණා” - බිරිඳට ඉනසියුලින් වැඩිපුර විද මරන්න හැදූ වෛද්‍යවරයාගේ පාපොච්චාරණය

“දෙන්නම මැරෙන්න හිතලා මුලින්ම එයාට විද්දා, මට විදගන්න බය හිතුණා” - බිරිඳට ඉනසියුලින් වැඩිපුර විද මරන්න හැදූ වෛද්‍යවරයාගේ පාපොච්චාරණය

සිය බිරිද සමග දිවි හානිකර ගැනීමට සැලසුම් කර ඇයට මුලින්ම ඖෂධය එන්නත් කර පසුව තමා ද එය විද ගැනීමට උත්සාහ දැරුවත් ඒ අවස්ථාවේදී ඇති වූ අධික බිය නිසා එසේ නොකළ බව ඖෂධයක් එන්නත් කරමින් සිය බිරිද ඝාතනය කිරීමට තැත් කළ බව කියන වෛද්‍යවරයා ප්‍රකාශයක් දෙමින් සඳහන් කර ඇතැයි බම්බලපිටිය පොලීසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉදිරියේ ඊයේ (02) කරුණු වාර්තා කළේය.

 

සැකකාර වෛද්‍යවරයා තම බිරිඳට ඉකුත් 24 වැනිදා පාන්දර 4 පමණ එම ඖෂධය එන්නත් කර ඇති අතර, පසුව එදින පෙරවරුවේ ඇගේ සහෝදරයාට දුරකතන ඇමතුමක් දී "අක්කා කාමරයේ මැරිලා ඉන්නවා යනුවෙන් දැනුම් දී ඇතැයි පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

 


එම දුරකතන ඇමතුමට අනුව බම්බලපිටිය මුහුදු වෙරළ පාර කොළඹ 06 නිවසේ සිටි සහෝදරිය බැලීමට ගිය සහෝදරයා නිසොල්මන්ව ඇඳේ වැතිරි සිටින සහෝදරිය දැක ඇය රෝහල් ගත කිරීමට සුදානම් වීමේදී “දැන් වැඩක් නැහැ එයා මැරිලා" යැයි සැකකරු ප්‍රකාශ කර ඇති බවද පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් සඳහන් කළේය.

 

එහෙත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කළ අදාළ කාන්තාවගේ සහෝදරයා ඇය එදිනම කළුබෝවිල මහ රෝහලට ඇතුළත් කර ඇති බවටත්, එම කාන්තාවට ඖෂධයක් විද ඇති බවට සැකකරු ප්‍රකාශ කර ඇත්තේ ඉකුත් 29 වැනිදා බවටත් පොලිසිය කරුණු ඉදිරිපත් කර ඇත.

 


ඒ අනුව සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී මෙම ප්‍රකාශ කර ඇත. සැකකරු අසල පිහිටි ෆාමසියකින් බෙහෙත් විදින සිරින්ජර් ආදිය මිලට ගෙන පැමිණෙන ආකාරය සී සී ටී වී දර්ශන වල ඇති බවද පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.

 


විවාහ වී වසර පහක් ඉක්ම ගොස් ඇතත් තවමත් දරුවන් නොමැති බවට සඳහන් කරමින් තම බිරිඳ නිරන්තරයෙන් තමා හා රණ්ඩු සරුවල් ඇති කර ගන්නා බවත් තමාට රාජකාරි කිරීමට පවා අපහසු වන අයුරින් නිවසට පැමිණෙන ලෙසට නිරතුරුවම දුරකතන ඇමතුම් ලබා දෙමින් ඇය කරදර කර ඇති බවත් මෙම සැකකාර වෛද්‍යවරයා සඳහන් කළ බවද පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

 

සැකකරුගේ ප්‍රකාශ මත බිරිඳට ඖෂධය එන්නත් කිරීමට යොදා ගත් සිරින්ජරය සහ එන්නත් කුප්පිය ඔවුන් ජීවත් වූ නිවසේ කාමරයක සඟවා තිබිය දී සොයා ගත් බව ද පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.

 


විසි හය හැවිරිදි එම කාන්තාව කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඇය කෝමා තත්වයට පත්ව ඇති බව වෛද්‍යවරුන් සඳහන් කර ඇතැයි ද පොලීසිය අධිකරණයට සිය බී වාර්තාවෙන් දක්වා ඇත.

 


එන්නත් විද සිය බිරිය ඝාතනය කිරිමට තැත් කළැයි සඳහන් කරමින් පොලීසිය සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර සැකකරු හෙට (04) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.

 


ඒ අනුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ නො. 386, මුහුදු වෙරළ පාර, කොළඹ 06 පදිංචි ආදම්බාවා මොහොමදු ෂිපාන් නමැති තිස් හැවිරිදි ත්‍රීකුණාමල රෝහලේ වෛද්‍යවරයෙකි.

views

34637 Views

Comments

arrow-up