අහසින් වැටිලත් නොමළ දැරියක්!

විවිධාකාර මරණීය අනතුරුවලට මුහුණ දීලත් ජීවිතය බේරාගැනීමට සමත් වුණු මිනිසුන්ගේ කතා ලෝක ඉතිහාසයට එකතු වී තිබෙනවා. මේ කතාව එලෙස දිවි බේරාගැනීමට සමත් වූ ජුලියන් කොප්කේ (Juliane Kopcke) නම් ගැහැණු ළමයෙක් ගැන. 17 හැවරිදි ජුලියන් තම පාසල් ගමන අවසන් කරනවාත් සමඟම, ඇමේසන් වැසි වනාන්තරයේ පර්‍යේෂණ ආයතනයක සේවය කරන තම පියා බැලීමට යාමට සැලසුම් කර තිබුණා. ඇයට සහා ඇගේ මවට අවශ්‍ය වුණේ හැකි ඉක්මණින් ඒ ගමන පිටත් වීමටයි. නමුත් නිවාඩු කාලයක් බැවින් සියලුම ගුවන්ගමන් වෙන්වී තිබුණා. ඔවුන්ට තිබූ එකම විකල්පය වූයේ ඒ වනවිටත් ගුවන්යානා කඩා වැටීම් දෙකක් සහිතව ,නරක නාමයක් ලබා තිබූ ලන්සා නැමැති ගුවන් සමාගමට අයත් ගුවන් යානයක ආසන දෙකක් වෙන්කරවා ගැනීමයි. පැයක් වැනි අඩු ගමන් කාලයක් තිබූ නිසා ඔවුන් ඒ ගැන තැකීමක් නොකර ආසන දෙකක් වෙන් කරවා ගැනීමට කටයුතු කලා. 1971 දෙසැම්බර් 24 වැනිදා පැය 7ක පමණ ප්‍රමාදයකින් පසුව 508 දරණ ලන්සා ගුවන්යානය ගමන් ආරම්භ කලා.
ගුවන්ගත වී පළමු මිනිත්තු කිහිපය කිසිදු වෙනසක් නොමැතිව සාමාන්‍ය ලෙස ගත් වුණත් ඉන් පසුව ඉතාමත් සැඩ සුළං සහ අකුණු සහිත කුනාටුවකට ගුවන්යානය මැදි වුණා. විශාල ලෙස පැද්දෙමින් තිබූ ගුවන්යානයට එක්වරම අකුණු සැරක් එල්ල වුණා. එයින් ගුවන්යානයේ ඉන්දන ටැංකියත් එක් තටුවකුත් සම්පූර්ණයෙන්ම විනාශ වී ගියා. සිදුවන්නේ කුමක්ද කියා සිතාගැනීමට නොහැකිව සිටි ජුලියන්ට ඇසුණේ අදික සුළගේ හඩ සහ පෙනුණේ පහලින් තිබු වනාන්තරය පමණයි. ඇගේ තිබූ වාසනාවකට ආසන පටි දමාගෙන සිටි ලෙසම ඇය අඩි 10,000ක් පමණ ඉහළ අහසේ සිට නිරුපද්‍රිතව පොලොවට පතිත වුණා. සිදුවූ අනතුරින් ඇගේ උරිස් ඇටය බිදීගොස් අත් පා වල ගැඹුරු කැපුම් තුවාල කිහිපයක් ඇති වුණා.
පැය 24ක පමණ කාලයක් සිහසුන්ව සිටි ජුලියන් සිහිය ආ විගස උදව් ඉල්ලා කෑගැසුවත් ඈමේසන් වනාන්තරය තුළ ඇගේ පිහිටට ඒමට කවුරුත් සිටියේ නැහැ. ගුවන්යානය කඩා වැටුණු ප්‍රදේශයට ගොස් දිවි ගලවාගත් තවත් කවුරුන් හෝ සිටිනවාදැයි විපරම් කල බැලුවත් ඇයට සොයාගැනීමට හැකි වුණේ ගුවන්යානයේ සුන්බුන් අතර තිබූ රස කැවිලි බෑගයක් පමණයි. කෙසේ හෝ වනාන්තරයෙන් එලියට යාම හැර වෙන විකල්පයක් නැති කොට, දිනකට එක් රසකැවිල්ලක් සහ අසල උල්පතකින් සොයාගත් ජලය පානය කරමින් ඇය ඉදිරියටම ගමන් කලා. ඇමේසන් වැසි වනාන්තරය භයානක සතුන් විසකුරු සර්පයන් වගේම විස ගස් වැල් වලිනුත් ගහනයි. තම පියාගෙන් ලබාගත් දැනුම නිසා ඇය තම සපත්තුවක් ගලවා ඉදිරියට විසික් කර හොඳින් විපරම් නොකර එක් අඩියක්වත් ඉදිරියට තැබුවේ නැහැ. රාත්‍රියට ගසක් යටට වන ජුලියන්ට තුවාල වල වේදනාව වගේම මදුරුවන් දශ්ඨ කිරීම නිසා හරිහමන් නින්දක් ලැබුණේ නෑ. මෙලෙස ගමන් කළ ජුලියන් විශාල ගංගාවක් අසලට ඒමට සමත් වුණා.
එතැන් සිට ගං ඉවුර දිගේ ගමන් කල ඇයට 10 වෙනි දිනයේදී නවතා තිබූ විශාල බෝට්ටුවක් දැකගන්නට ලැබුණා. මිනිසුන් කිසිවෙකුත් පෙනෙන්නට නොසිටියත් තැලී පොඩි වී ගිය කුඩා අඩිපාරක් ඒ අසලින් වැටී තිබුණෙන් එදෙසට ගමන් කළ ජුලියන්ට කුඩා පැල්පතක් හමුවුණා. එදින රාත්‍රිය පැල තුල ගතකළ ඇයට තරමක් සුව නින්දක් ලබාගැනීමට හැකි වුණා. පසුවදා ඇය ඇහැරුණේ මිනිසුන් කිහිප දෙනෙකු උස් හඩින් කතාබහ කරන ශබ්දයකටයි. තමන්ට සිදුවූ දෙය ඒ මිනිසුන්ට විස්තර කිරීමෙන් පසුව ඔවුන් ජුලියන්ව අසල පිහිටි රෝහලකට ඇතුළත් කලා. නිසියාකාරව ප්‍රතිකාර ලබමින් සිටි ජුලියන්ව බැලීමට ඇයගේ පියා පැමිණියත් මව ඒ වනවිටත් අනතුරින් මරණයට පත්වෙලා තිබුණා. කොතරම් බාදක ආවත් මිනිසෙකුගේ ජීවත් වීමට ඇති ආශාව ඒ සියල්ලටම වඩා ප්‍රබල බව ජුලියන් ඔප්පුකර තිබෙනවා.
by Nimanthi Muthukudaarachchi
Photo source : Internet
2764 Views
Comments