“ලයිට් නිවලා තියන්න” - මාස 11කට පසු දෙහිඕවිට රණතුංග මැණිකේ ඝාතනයේ ඇඟ කිළිපොලා යන සුල මුල එළියට

මේ සඳහා පොලිස් නිලධාරීන්ට අමතරව කාන්තා පොලිස් නිලධාරිනියන් දක්වන දක්ෂතාවන් තිබේ. ඔවුහු අපරාධකරු කොටුකර ගැනීමට නොයෙක් වෙස් ගනිති.
පෙම්වතියන්සේ හැසිරෙති. වෙනත් උපක්‍රම මඟින් සැඟව සිටින අපරාධකරු සමඟ දුරකථන සබඳතා පවත්වති. මේ සෑම උපක්‍රමයකින්ම විමර්ශන නිලධාරීන් බලාපොරොත්තු වන්නේ අපරාධකරු කෙසේ හෝ නීතියේ රැහැනට ගෙන ඒමයි.
දෙහිඕවිට පොලිස් වසමේ දැරණියගල පාරේ පදිංචි රණතුංග මැණිකේ නමැති 38 හැවිරිදි කාන්තාවක් පසුගියදා සිය නිවසේදීම ඝාතනය කර තිබිණි. සිද්ධිය සැලවීමත් සමඟ දෙහිඕවිට පොලිසිය විසින් ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරන ලදී.
වසර දහයකට පෙර අනුර ශාන්ත නමැති පුද්ගලයකු සමඟ විවාහ වී සිටි රණතුංග මැණිකේ දෙහිඕවිට පිහිටි ඇඟලුම් කම්හලක රැකියාව කළාය. ඇගේ සැමියා කොළඹ ප්‍රදේශයේ ලීබඩු සමාගමක වඩු කාර්මිකයකු ලෙස රැකියාව කළේය.
කොළඹ රැකියාවට ගිය අරුණ ශාන්ත නිවාඩුවට ගෙදර එන්නේ සිකුරාදා සවස් වරුවේය. එලෙස පැමිණෙන ඔහු සඳුදා උදෑසන යළි කොළඹ යන්නේය.
ඒ ඉකුත් වසරේ සැප්තැම්බර් 22 වනදාය. එදාද අනුර ශාන්ත සිටියේ කොළඹය. සුපුරුදු පරිදි ඔහු දුරකථන ඇමතුමක් දී බිරිය ගැන සොයා බැලීය.
දුරකථනය ක්‍රියාත්මකය. එහෙත් රණතුංග මැණිකේගෙන් ඊට ප්‍රතිචාරයක් නොවීය. අනතුරුව ඔහු නිවෙසට ආසන්න පදිංචි පුද්ගලයකුට මේ බව දන්වා බිරිය ගැන විපරම් කරන ලෙස දැන්වීය. අසල්වැසියා අනුර ශාන්තගේ නිවෙසට ගියද රණතුංග මැණිකේ නිවසේ නොසිටින බවත් නිවෙසේ ෙදාර පියන් විවෘතව තිබූ බවත් අසල්වැසියා අනුර ශාන්්තට කීවේය.
පසුව අනුර සිය ඥාතියකුට මේ බව කීවේය. ඔහු වහා රණතුංග මැණිකේගේ නිවෙසට ගියේය. නිවෙස තුළ විපරම් කළ ඔහු දුටුවේ නිවසේ නාන කාමරය තුළ බණ්ඩාර මැණිකේ ලේ පෙරාගෙන වැටී සිටි අයුරුය. ඔහු වහා රණතුංග මැණිකේගේ සැමියා වූ අනුර ශාන්තට මේ බව දැන්වීය.
“දැරණියගල පාරේ ගෙදරක ගෑනු කෙනෙක් මරලා දාලා.” පොලිසියට ලැබෙන එම ඇමතුමත් සමඟ දෙහිඕවිට පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් රණතුංග මැණිකේගේ නිවෙසට යන අතර නාන කාමරයේ වැටී සිටි ඇය ඒ වනවිටත් අවසන් හුස්ම හෙළා තිබුණාය.
සිද්ධිය සම්බන්ධ විමර්ශනය සඳහා සහකාර පොලිස් අධිකාරි සුමනපාල මහතාද රණතුංග මැණිකේගේ නිවෙසට පැමිණි අතර ඔහුගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පුළුල් පරීක්ෂණයක් ඇරඹූ අතර එම විමර්ශනයේදී හෙළි වූයේ රණතුංග මැණිකේ නිවෙසේ නිදන කාමරයේදී මරා දමා ඉන් අනතුරුව ඇගේ සිරුර ඇදගෙන ගොස් නාන කාමරයට දමා සිරුර සෝදා ඇති බවය.
රණතුංග මැණිකේ කෙසේ මරා දැමුවේදැයි දැන ගැනීම සඳහා ඇගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා යොමු කෙරුණු අතර එහිදී අනාවරණය වූයේ ඇගේ හිසට මොට ආයුධයකින් පහරදී ඇය මරා දමා ඇති බවය.
ඝාතකයා සොයා ගැනීම සඳහා විමර්ශන සිදු කෙරුණු අතර රණතුංග මැණිකේගේ නිවෙස ආසන්නයේ කිසිදු සීසීටීවී කැමරාවක් ස්ථාපිත නොවීම පොලිස් පරීක්ෂණවලට කිසියම් අපහසුතාවක් විය. නිලධාරීන්ගේ ඊළඟ අවධානය යොමුවූයේ ඇය සතු ජංගම දුරකථනය වෙතය. නිලධාරීන් එම දුරකථනය සියුම් ලෙස නිරීක්ෂණය කළේය.
එම නිරීක්ෂණයේදී නිලධාරීන්ට කිසියම් සැකකටයුතු SMS පණිවිඩයක් දැකගන්නට ලැබිණි.
“ලයිට් නිවලා තියන්න” එම පණිවිඩයේ සඳහන් විය. ඇතිවූ සැකය මත එම කෙටි පණිවිඩය රණතුංග මැණිකේට එවූ පුද්ගලයා කවුදැයි නිලධාරීහු පිරික්සූහ. රණතුංග මැණිකේ එම දුරකථන අංකය සිය ජංගම දුරකථනයේ “සේව්” කරගෙන තිබුණේ ”සුජිත්” යන නමිනි.
ඒ ඔස්සේ විමර්ශන දියත් විය. නිලධාරීන් එම කෙටි පණිවිඩය එවූ තැනැත්තාගේ දුරකථන අංකයට අදාළව විශ්ලේෂණ වාර්තාවක් ලබා ගත්තේය. එහිදී අනාවරණය වන්නේ එම පුද්ගලයා අසෝක නමැත්තකු බවය. එහෙත් ඔහු ලබාදී තිබූ ලිපිනයේ එවැනි පුද්ගලයකු නොවීය. මේ නිසා නිලධාරීන් නැවත ගැටලුවකට මැදිවිය.
නිලධාරීන් ඊළඟට නැවත ලබාගත් දුරකථන විශ්ලේෂණ වාර්තාව වෙත යොමුවිය. එම වාර්තාව හොඳින් නිරීක්ෂණය කිරීම පැවැරුණේ අපරාධ විමර්ශන අංශයේ කාන්තා සැරයන්වරියකටය. ඇය සියුම් ලෙස දුරකථන වාර්තාව නිරීක්ෂණය කරද්දී දිගින් දිගටම ඇමතුම් ලබාගත් දුරකථන අංකයක් ගැන සැරයන්වරියට සැකයක් ඇති විය. පසුව ඇය එම අංකයට ඇමතුමක් ගත්තාය. ඊට පිළිතුරු දුන්නේ කාන්තාවක්ය.
“සොරි රෝන් නම්බර්…” සැරයන්වරිය සිය දුරකථනය විසන්ධි කළාය. ඒ එම ඇමතුමට කාන්තාවක් පිළිතුරු දුන් නිසාය.කෙසේ වෙතත් පැය කිහිපයක් ගතවිය. සැරයන්වරියගේ දුරකථනයට ලැබුණු ඇමතුමකි.
“මගේ ෆෝන් එකට කිහිප වතාවක් කෝල් කරලා තිබුණා. කවුද දන්නේ නැහැ.” රිසිවරයේ එහා කෙළවරේ සිටි පුද්ගලයා විමසීය. සැරයන්වරිය එම අංකය මහත් ඕනෑකමින් බැලුවාය. ඒ තමා මීට පෙර ලබාගත් ඇමතුම් අංකය බව ඇයට වැටහිණි.
මේ ඇමතුම එන්නේ පොලිසිය සොයන අශෝක නමැත්තාගෙන් බව සැරයන්වරිය සැක කළාය. කෙසේ හෝ් නොදත් අශෝක ගැන තිබූ සැකය නිසාම සැරයන්වරියදª තමා පොලිස් නිලධාරිනියක් බව නොදන්වා ඔහු ඉදිරියේ රඟපෑමක නිරත වූවාය.
එතැන් පටන් දෙදෙනා අතර දුරකථන සංවාද කිහිපයක්ම ඇති වූහ. සැරයන්වරිය රඟපෑමක යෙදුණද ඒ බව අශෝක දැන සිටියේ නැත. අශෝකගේ කතා බහෙන් ඔහු කාන්තා ඇසුරට දැඩි ලොල්කමක් දක්වන අයකු බව සැරයන්වරියට වැටහිණි. කෙසේ හෝ අශෝක නොදුටු කාන්තාව සමඟ පෙමින් බැඳුණේය. සැරයන්වරිය ඒ බව සිය උසස් නිලධාරීන්ටද කීවාය.
උසස් නිලධාරීන් ඇයට උපදෙස් දුන්නේ මොහුව කෙසේ හෝ කොටුකර ගන්නා ලෙසය.
“මට ඔයා දකින්න ආසයි. අපි කතා කළාට දැකලාවත් නැහැනේ” අශෝක දවසක් සැරයන්වරියට කීවේය. සැරයන්වරිය ඊට අකැමැත්තක් පළ කළේ නැත.
“මාත් ආසයි ඔයා හම්බවෙලා කතා කරන්න.”
“එහෙනම් මම කරවනැල්ල ටවුමට එන්නද?”*සැරයන්වරියගේ කීමට ඔහු එකවර කැමැති විය. එහෙත් තමා මර උගුලක වැටී සිටින බව අශෝක නොදත්තේය.
සැරයන්වරිය මේ බව සිය උසස් නිලධාරීන්ට දැන්වූවාය. ඒ අනුව අශෝක නමැත්තා කරවනැල්ලේදී කොටුකර ගැනීමේ මෙහෙයුම සකස් විය. සිවිල් ඇඳුම් ලාගත් නිලධාරිනිය මෙන්ම නිල ඇඳුම් ලාගත් නිලධාරීන්ද කරවනැල්ල නගරයේ තැන තැන ස්ථාපිත කෙරිණි.
මේ කිසිත් නොදත් අශෝක සිය පෙම්වතිය මුණ ගැසීමේ අදහසින් කරවනැල්ලට පැමිණ පෙම්වතියට ඇමතුමක් දුන්නේය. ඒ ඇමතුමට අනුව අශෝක කවුදැයි සැරයන්වරිය හඳුනා ගත්තාය. ඇය ඒ බව කිසියම් සංඥාවකින් සිය නිලධාරීන්ට දැන්වූවාය. ඒ සමඟම නිලධාරීහු අශෝක වටකර ගත්හ. ඔහුට පැන යෑමට ඉඩක් නොවීය. ඔහු පොලිස් අත්අඩංගුවට පත්විය.
නිලධාරීන් ඔහුගෙන් රණතුංග මැණිකේගේ මරණය සම්බන්ධයෙන් විමසීම් කළේය. එහිදී ඔහුට තවදුරටත් බොරු කීමට නොහැකි විය. ඔහු ඇත්ත පොලිසිය හමුවේ කියන්නට විය.
49 හැවිරිදි අශෝක කුලී රැකියාවේ නිරත අයෙකි. එමෙන්ම විවාහ කිහිපයක්ම කරගත් අයෙකි. ඔහු කාන්තා ඇසුරට ලොල්වූ තැනැත්තෙකි. මනම්පිටිය ප්‍රදේශයේ කාන්තාවක් මුලින් විවාහ කරගත් ඔහු පසුව රුවන්වැල්ලේ පදිංචි කාන්තාවක් සමඟද විවාහ විය.
ඔහුට රණතුංග මැණිකේ මුණ ගැසෙන්නේ ඔය අතරය. ඒ රුවන්වැල්ලේ කාන්තාව සමඟ විවාහව සිටියදීය. ඒ මීට වසර පහකට පමණ පෙරය.
අශෝක කලක් සිටියේ විදේශගතවය. රුවන්වැල්ලේ කාන්තාව ඔහුට මුණගැසී ඇත්තේ එවිටය. පසුව ඔහු එම කාන්තාවද සමඟ රුවන්වැල්ලට පැමිණ ඇය සමඟ ජීවත්වී ඇත. කලක් යද්දී අශෝක එම කාන්තාවගේ දියණිය සමඟද අනියම් සබඳතාවක් ඇති කරගෙන තිබිණි.
එම කාන්තාව දෙහිඕවිට ඇඟලුම් කම්හලේ සේවය කළාය. රණතුංග මැණිකේද එවකට සේවය කළේ එම කම්හලේමය. බිරියගේ මාර්ගයෙන් අශෝක, රණතුංග මැණිකේ හඳුනා ගත්තේය. ඒ ඇසුර කෙමෙන් වර්ධනය විය. අශෝක රණතුංග මැණිකේ සමඟ අනියම් සබඳකමක් පැවැත්වුවද ඇය ඊට අමතරව තවත් කිහිපදෙනකු සමඟද සබඳතා පැවැත්වූවාය. මේ බව රණතුංග මැණිකේගේ කොළඹ රැකියාව කරන සැමියා දැන සිටියේ නැත. අශෝකටද ඒ බව දැන ගන්නට ලැබෙන්නේ පසුවය. ඒත් සමඟම රණතුංග මැණිකේත් අශෝකත් අතර ආරවුල් ඇරඹිණි. එදා පටන් අශෝක ඇය සමඟ සිටියේ දැඩි වෛරයකින්ය.
2023 සැප්තැම්බර් මස 21 වැනිදා අශෝක, රණතුංග මැණිකේ හමුවන්නට ඇගේ නිවෙසට පැමිණියේය. ඒ ඊට පෙර “ලයිට් නිවා තියන්න” යනුවෙන් කෙටි පණිවිඩයක්ද ලබා දෙමිනි. දෙදෙනා අතර ආරවුලක් ඇරඹී ඇත්තේ ඉන් පසුවය. අවසානයේ රණතුංග මැණිකේට පහරදී මරා දමන්නට තරම් අශෝක සැහැසි විය.
අශෝක මෙලෙස පොලිස් අත්අඩංගුවට පත් වන්නේ රණතුංග මැණිකේ ඝාතනය කර මාස 11කට පසුවය. ඒ දෙහිඕවිට පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ රාජකාරි නියුතු සැරයන්වරියගේ උපායශීලී රඟපෑමක් නිසාය. මාස 11ක් සැඟවෙමින් කාන්තාවන් රිසිසේ ඇසුරු කරමින් පොලිස් නිලධාරිනියකටද පෙම්බැඳි අශෝක දෑතට දැමූ මාංචුද සමඟ අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. පොලිස් විමර්ශන අනුව සැකසිනි.
290 Views
Comments