“අලු‍තින් රංගනයට එන ආධුනික හෝ තරුණ පරපුරේ අය ප්‍රවීණයන්ට ගරු කරන්නේ නෑ, ඒක හොඳ දෙයක් නෙමෙයි” - ඉෂාරා අතුකෝරළ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
05

“අලු‍තින් රංගනයට එන ආධුනික හෝ තරුණ පරපුරේ අය ප්‍රවීණයන්ට ගරු කරන්නේ නෑ, ඒක හොඳ දෙයක් නෙමෙයි” - ඉෂාරා අතුකෝරළ

“අලු‍තින් රංගනයට එන ආධුනික හෝ තරුණ පරපුරේ අය ප්‍රවීණයන්ට ගරු කරන්නේ නෑ, ඒක හොඳ දෙයක් නෙමෙයි” - ඉෂාරා අතුකෝරළ

මේ දිනවල විකාශය වන රොකී ටෙලි නාට්‍යයේ ‘ආකර්ෂා’ ලෙසින් ඔබ හමුවට එන ඇය දක්ෂ රංගන ශිල්පිනියක්.  ඒ වගේම ඇය දක්ෂ නිවේදිකාවක්. මේන් කැරැක්ටර්ස්, සල්ලි පොකුරු වැනි ටෙලි නාට්‍ය හරහාත් රසික හදවත් තුළ නොමැකෙන මතක එකතු කළ ඇය නමින් ඉෂාරා අතුකෝරළ. ඇය මෙලෙස අපත් සමඟ කතාබහට එක් වුණා.

 

රොකී ටෙලි නාට්‍යයේ ආකර්ෂාට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද?

 

ආකර්ෂාගේ  චරිතය ටිකක් නපුරු, අම්මට තාත්තට සලකනවට අකැමැති චරිතයක්. ඉතින් ඒ චරිතයට මිනිස්සු එච්චර කැමැති නැහැ. නමුත් රංගනය පැත්තෙන් ලැබෙන ප්‍රතිචාර ගොඩක් හොඳයි. දකින හැමෝම කියනවා මගේ රංගනය ගොඩක් හොඳයි කියලා.  මාව හොඳටම දන්න කට්ටිය පවා කියන්නෙ, අපි ඔයා ගැන හොඳටම දන්නවා වුණත් ඔයා රඟපාන විධියට අපිට කේන්ති යනවා කියලා.

 

ඔබ රංගනයෙන් දායක වුණේ ටිකක් නපුරු චරිතවලට නේද? ඒ ගැන කතා කළොත්?

 

මට මේ දවස් ටිකේම කතා කරන්නේ  ඒවගේ ටිකක් සැර නපුරු චරිතවලට. ඒ චරිත ඉතින් මම තෝරා ගන්න ඒවා නෙවෙයි.  සමහරවිට මගේ පෙනුමෙ නපුරු පාටක් තියනවා ඇති. එහෙම නැත්නම් අපි එක චරිතයක් හොඳට රඟපෑවට පස්සේ, වෙන ස්ක්‍රිප්ට් එකක් කියවන අවස්ථාවකදී මේ චරිතයට මෙයා ගැළැපෙනවනේ කියලා හිතෙනවා ඇති. ඒක නිසා වෙන්නැති මට  එක වගේ චරිත ටිකක් ලැබුණේ.

 

ඔබ රංගනයට අමතරව නිවේදිකාවක් විධියටත් කටයුතු කරනවා. නිවේදිකාවක් විධියට ලබන අත්දැකීම් ගැන කිව්වොත්?

 

මම දැන් අවුරුදු පහක පමණ කාලයක සිට ස්වර්ණවාහිනියේ වැඩ කරනවා.  හිත ඉල්ලන තරු, කොෆී ස්ටූඩියෝ විත් මුදිත } නිෂි, හද රැඳි පැය, ආයුබෝවන් ශ්‍රී ලංකා කියන ස්වර්ණවාහිනියේ විකාශය වන හොඳම වැඩසටහන් ටිකක් මම කරනවා. මම පුංචි කාලේ සිටම නිවේදනයට පුංචි කැමැත්තක් තිබුණා. නිවේදනයට සම්බන්ධ වීම අහම්බෙන් සිද්ධ වුණු දෙයක්. ඉතින් මගේ වැඩසටහන් බලන පිරිසක් ඉන්නවනේ. ඒ අය හරිම ආදරයෙන් කතාබහ කරනවා. ඒ නිසා හරිම සතුටෙන්, ආසාවෙන් මගේ නිවේදන වැඩ සහ රංගන වැඩ කටයුතු සමබරව කරගන්නවා.

 

ප්‍රවීණ රංගන ශිල්පී ආනන්ද අතුකෝරල කියන්නේ ඔබේ පියා. ඔබේ කලා ජීවිතයට පියාගෙන් ලැබුණු පන්නරය ගැන මතක් කළොත්?

 

මට රංගනය සඳහා චරිතයක් ලැබුණට පස්සේ,  මෙන්න මේ වගේ චරිතයක් මට ලැබුණා කියලා මම තාත්තට කියනවා. එතකොට තාත්තට තිබෙන අත්දැකීම් එක්ක මගේ රංගනය තුළ වෙනස් වෙන්න ඕනෑ තැන් කියලා දෙනවා. මේ වන විට නම් තාත්තාගෙන් මට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඇත්තටම තාත්තා ඉන්න එක මට ලොකු හයියක්. මොකද මම රංගනයට ආවේ ඒ ගැන දේ ඉගෙන ගෙන නෙවෙයිනේ. ඉතින් තාත්තා රඟපෑම ගැන වර්ක්ශොප් එහෙම කරලා ගොඩක් අයට ඒ ගැන දැනුම ලබා දෙනවා. ඉතින් ඒ නිසා රංගනය පැත්තෙන්, ඔහුගේ අත්දැකීම් එක්ක මටත් ලොකු සහයෝගයක් ලැබෙනවා.

 

නවක රංගන ශිල්පිනියක් විධියට වර්තමාන කලා ක්ෂේත්‍රය ගැන ඔබේ අදහස?

 

මට දැනෙන විධියට නම් අපේ ප්‍රවීණ රංගන ශිල්පීන්ට ශිල්පිනියන්ට ක්ෂේත්‍රය තුළ ලැබෙන ගෞරවය ටිකක් අඩු වෙලා තිබෙනවා. අලුතින් රංගනයට එන ආධුනික අය හෝ තරුණ පරපුරේ අය  ප්‍රවීණයන්ට ගරු කරන්නේ නැති තත්ත්වයක් මම දකිනවා. ඇත්තටම ඒ දේ හදා ගන්න පුළුවන් නම් හොඳයි. මොකද ප්‍රවීණයන් කියන්නේ අපිට වඩා වැඩිහිටි, අපිට වඩා අත්දැකීම් තියන අය. ඒ නිසා ඔවුන්ට ලැබිය යුතු ගෞරවය අපි ලබා දෙන්න ඕනෑ. අපි මොනතරම් ජනප්‍රිය වුණත් සමාජ මාධ්‍ය තුළ අපිට මොනතරම් පිරිසක් අප වටා සිටියත් අද කාලේ ජනප්‍රියත්වය මනින්නේ ඒවගෙන් නෙවෙයි. අපි ඉන්න විධිය, අපේ මනුස්සකම්, මිනිස්සු එක්ක අපි ගනුදෙනු කරන විධිය මේ දේවල්වලින් තමයි අපේ පෞරුෂය ගොඩනැඟෙන්නේ. ඉතින් ඒක නිසා අපිට කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ට ගරු කරන්න පුළුවන් නම් සහ අපිට අපේ වැඩේ ඇතුළේ ඉඳලා ඒකට උපරිම සහයෝගයක් දෙන්න පුළුවන් නම් හොඳයි කියන දේ මම දකිනවා. දැන් ගොඩක් අය රඟපාන්නේ විනෝදාංශයක් විධියට. මම ඒ විනෝදාංශයක් විධියට රඟපානවා කියන දේට හරි අකමැතියි. රංගනය කියන්නේ කැපවෙලා, මහන්සිවෙලා කරන උතුම් රැකියාවක්.

 

‘මේන් කැරැක්ටර්ස්’ ටෙලිනාට්‍ය තුළ ඔබට ඔබේ පියා සමග රංගනයට අවස්ථාව ලැබෙනවා. ඒ අත්දැකීම් මොන වගේද?

 

එකම ටෙලි නාට්‍යයක් තුළ මමයි, තාත්තයි රංගන කටයුතු කළාට අපි දෙන්නට එකම දර්ශන තලයක රඟපාන්න අවස්ථාව ලැබුණේ මේන් කැරැක්ටර්ස් ටෙලි නාට්‍ය නිසා. ඒක ජීවිතේ අමතක නොවන සිඳුවීමක්. තාත්ත කියන්නෙ, හැමෝම ආදරේ කරන ගරු කරන චරිතයක්. ඉතින් එදා ඒ දවස ජීවිතේ කවදාවත්ම අමතක නොවන දවසක්.

 

ඔබේ රංගන කුසලතාවය දියුණු කර ගැනීමට විශේෂ දේවල් අනුගමනය කරනවද?

 

අපේ සමාජය තුළ ජීවත් වෙන්නෙ විවිධ ආකාරයේ චරිත තිබෙන අයනේ. අපි ඇසුරු කරන අය ගත්තත් එකිනෙකාට වෙනස්. ඉතින් මම, වෙනදාට වැඩිය සමාජයේ ඉන්න චරිත ගැන අධ්‍යයනය කරනවා. මම  ඒ අයගේ හැසිරීම්, කතා කරන විධිය, ප්‍රශ්නයකදී ඒ අය ප්‍රතිචාර දක්වන විධිය වගේ දේවල් ගැන වෙනදට වඩා වුවමනාවෙන් බලනවා. තාත්තා ළඟ රංගනය ගැන හොඳ පොත් ටිකක් තිබෙනවා. ඒ පොතුත් කියවනවා සහ තාත්තගෙනුත් අහලා ඉගෙන ගන්නවා.

 

ඉදිරියේදී ඔබට රඟපාන්න ලැබුණොත් හොඳයි කියලා හිතෙන චරිතයක් එහෙම තිබෙනවද?

 

මම මේ දවස්වල කරන චරිත එක්ක නම් අහිංසක ගැමි ළමයෙක්ගේ චරිතයක් රඟපාන්න ලැබෙනව නම් හොඳයි කියලා හිතෙනවා. ටිකක් වෙනස්, නපුරු නැති, හොඳ, සුදු චරිතයක් ලැබෙනව නම් මම කැමැතියි.

 

අලුත් නිර්මාණවලට ආරාධනා ලැබිලා තියෙනවද?

 

ටෙලි නාට්‍ය තුනකට ආරාධනා ලැබිලා තිබෙනවා. ඒ ටෙලි නාට්‍යවල වැඩත් පටන් ගත්තා. ඉතින් ප්‍රේක්ෂකයන්ට ඒවා ළඟදීම බලන්න පුළුවන් වේවි.

 

views

205 Views

Comments

arrow-up