පවුලකටම ජීවිත එපාවෙලා - එකම පවුලේ පස්දෙනෙක් සිය දිවි නසාගෙන

එප්පාවල පොලිස් වසමේ සඳරැස්ගම ප්‍රදේශයේදී නිවසක් තුළ 24 හැවිරිදි තරුණයකු ගෙල වැලලාගෙන සියදිවි නසා ගෙන ඇතැයි එප්පාවල පොලිසිය පවසයි.
මෙලෙස සිය දිවි නසා ගෙන ඇත්තේ තුසිත සම්පත් බංඩාර නම් තරුණයෙකි. ඔහු ගාල්ල ප්‍රදේශයේ රැකියා ස්ථානයේ සිට එප්පාවල පිහිටි ඔහුගේ නිවසට පැමිණ මෙලෙස ඊයේ (02) සිය දිවි නසාගෙන ඇත.
නිවසේ කිසිවකුත් ඒ අවස්ථාවේ රැඳී සිට නැත. පස්වරු 12.00 ට ආසන්න වේලාවකදී ඔහු සිය දිවි නසා ගන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි. නිවසේ කාමරයක් තුළ දී මෙසේ දිවි නසාගෙන ඇත. අසල නිවසක කාන්තාවක් ඔහු දිවි නසාගෙන ඇති බවට කළ දැනුම්දීමක් මත ප්‍රදේශවාසීන් පොලිසියට මේ පිළිබඳව දැනුම් දී ඇත.
ගාල්ල ප්‍රදේශයේ පදිංචි සිය සොයුරා සමග බහින්බස් වී මොහු සිය දිවි නසා ගෙන ඇති බවට පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙලෙස සිය දිවි නසාගත් තරුණයාගේ සොයුරන් තිදෙනකු හා සොයුරියක ද මීට පෙර සිය දිවි නසා ගෙන ඇතැයි පොලිසිය අනාවරණය කර ගෙන ඇත.
ඒ අනුව එම පවුලේ පස්වැන්නා ලෙස මොහු සිය දිවි හානි කර ගෙන ඇත. මීට වසර කීපයකට පෙර ඔහුගේ සොයුරකු හා සොයුරියක තලාව ප්‍රදේශයේදී දුම්රියට පැන සිය දිවි නසාගෙන ඇති බවත්, මෙම තරුණයා සියදිවි නසාගත් නිවස පිහිටි ගෙවත්තේ ම තවත් සොයුරකු සිය දිවි නසා ගෙන ඇති බවත්, මෙම තරුණයා ගෙල වැලලාගත් කාමරයේම ඔහුගේ සොයුරකු සිය දිවි නසා ගෙන ඇති බවටත් පොලිසියට අනාවරණය වී ඇත.
ඒ අනුව එම පවුලේ සොයුරු සොයුරියන් 07 දෙනෙකුගෙන් පස් දෙනකුම වරින් වර සිය දිවි නසා ගෙන ඇතැයි වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලිසිය විමර්ශන සිදු කරයි.
358 Views
Comments