මුදල් උඩට යැවූ පසු උඩ සිට කුඩු බිමට එන අමුතු විදියේ කුඩු ජාවාරම මාට්ටු වූ හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
27

මුදල් උඩට යැවූ පසු උඩ සිට කුඩු බිමට එන අමුතු විදියේ කුඩු ජාවාරම මාට්ටු වූ හැටි

මුදල් උඩට යැවූ පසු උඩ සිට කුඩු බිමට එන අමුතු විදියේ කුඩු ජාවාරම මාට්ටු වූ හැටි

වේයන්ගොඩ මාරපොල ප්‍රදේශයේ විශාල ගසක් උඩ පොළොවේ සිට අඩි 150ක් පමණ උසින් සාදන ලද අට්ටාලයක් මත සිට ඉතා සූක්‍ෂම අයුරින් පවත්වාගෙන ගිය කුඩු ජාවාරමක් පෙරේදා (25) පස්වරුවේ වටලා එක් සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට වේයන්ගොඩ පොලිසිය සමත්ව ඇත.

 

අත්අඩංගුවට ගෙන ඇත්තේ වේයන්ගොඩ මාරපොළ ප්‍රදේශයේ පදිංචි තිදරු මවකි.

 

අට්ටාලය තුළ තිබී හෙරොයින් ග්‍රෑම් 01යි මිලිග්‍රෑම් 400ක්, ජාතික හැඳුනුම්පත් 06 ක්, විදෙස් ගමන් බල පත්‍ර 5 ක්, ජංගම දුරකථන 8ක් පොලිස් භාරයට ගෙන ඇත.

 

සැකකාරිය තම නිවසට යාබදව පිහිටි කැලෑබද ප්‍රදේශයක ඇති විශාල ගසක් උඩ කිසිවකුටත් නොපෙනෙන අයුරින් ලී කොටන් සහ ලෑලි යොදා සාදා ඇති මෙම අට්ටාලය තුළ සිට කුඩු ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇත.

 

මල්ලක මුදල් දමා ලණුවක් ආධාරයෙන් අට්ටාලය මතට යැවීමෙන් පසුව අට්ටාලය උඩ සිට කුඩු පහළට එවීම සිදුකර ඇති අතර අට්ටාලයේ සිට අවට ප්‍රදේශයේ විශාල පරාසයක් නිරීක්ෂණය කිරීමට හැකි බවත්, බාහිර පුද්ගලයන් පැමිණීම අට්ටාලයේ සිට නිරීක්ෂණය කර ඇති බවත් පොලිසිය පවසයි.

 

හෙරොයින් මිලදී ගැනීමට මුදල් නොමැති පුද්ගලයන්ගේ ජංගම දුරකථන, ජාතික හැඳුනුම්පත් හෝ විදෙස් ගමන් බලපත් ඇපයට තබා හෙරොයින් ලබා දී ඇති බවත් විමර්ශනවලින් හෙළි වී ඇත.

 

එම ජංගම දුරකථනවල පිටුපස කොපමණ මුදලක හෙරොයින් ලබා දුන්නාද යන්න සඳහන් කර ඇත.

 

සැකකාරිය සිය සැමියා ද සමඟ මෙම ජාවාරම කලක සිට ජයටම සිදු කර ගෙන ගොස් ඇති අතර සැකකාර සැමියා අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇත.

views

326 Views

Comments

arrow-up