තලංගම මහපාරේ මිනීමැරුමේ මැරයෙක් ඩුබායි පනින්න යද්දී කොටුවූ හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
01

තලංගම මහපාරේ මිනීමැරුමේ මැරයෙක් ඩුබායි පනින්න යද්දී කොටුවූ හැටි

තලංගම මහපාරේ මිනීමැරුමේ මැරයෙක් ඩුබායි පනින්න යද්දී කොටුවූ හැටි

මුදල් පොලියට ලබාදෙන පුද්ගලයකුට තලංගම රොබට් ගුණවර්ධන මාවතේ මහමඟ දී වෙඩි තබා ඝාතනය කළ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු ඊයේ (31 වැනිදා) කටුනායක ගුවන්තොටුපළෙන් ඩුබායි රාජ්‍යයට පලායෑමට උත්සාහ කරද්දී අත්අඩංගුවට ගෙන ඇත.

 

මෙම පාතාල මැරයාට එරෙහිව ගුවන්ගමන් තහනමක් තලංගම පොලිසිය විසින් ලබාගෙන තිබූ අතර ගුවන්තොටුපොළ ආගමන විගමන නිලධාරීන් විසින් ඊයේ අලුයම ඔහු අත්අඩංගුවට ගන්නා ලදී.

 

පසුව විමර්ශන කටයුතු සඳහා මෙම පාතාල මැරයා තලංගම පොලිසිය වෙත ඊයේ දහවල් භාර දී ඇත.

 

අතුරුගිරියේ ගඩ්ඩා නැමැති පාතාල මැරයාගේ සමීපතම ගෝලයකු බව කියන මෙම පාතාල මැරයා 25 හැවිරිදි වියේ පසුවන තරුණයෙකි.

 

අතුරුගිරියේ ගඩ්ඩා ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන අතර ඔහුගේ කොන්ත්‍රාත්තුවක් මත මෙම ඝාතනය සිදුකර ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ.

 

ඉකුත් 25 වැනිදා තලංගම රොබට් ගුණවර්ධන මාවතේදී මහමඟ ගමන් ගත් ජනක නැමැති මුදල් පොලියට ලබාදෙන පුද්ගලයකු ඝාතනය කර තිබිණි.

 

එම ඝාතනය සඳහා ඝාතකයා සමඟ යතුරු පැදියේ පැමිණි අනෙක් පාතාල මැරයා මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

 

ඝාතනයට ලක්වූ ජනක පාතාල මැරයකු වන බන්ටි නැමැත්තාගේ ඥාති සොහොයුරෙකි. බන්ටි නැමැත්තා ද ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින අතර ඔහු අතුරුගිරියේ ගඩ්ඩා සමඟ ආරවුලක් ඇතිකර ගෙන තිබිණි.

 

එම ආරවුලේ ප්‍රතිඵලයක් ලෙස ගඩ්ඩා විසින් සිය පාතාල මැරයන් යොදවා බන්ටිගේ ඥාති සොහොයුරකු වන ජනක ඝාතනය කර ඇත්තේ පළිගැනීම සඳහා බව පොලිසිය පවසයි.

views

537 Views

Comments

arrow-up