ලොව ප්‍රකට සංගීතඥ සහ නිෂ්පාදකවරයෙක් වන “ක්වින්සි ජෝන්ස්” අභාවප්‍රාප්ත වෙයි

ලෝක ප්‍රකට සංගීතඥයෙකු සහ නිෂ්පාදකවරයෙක් වන ක්වින්සි ජෝන්ස් (Quincy Jones) අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට ඔහුගේ වයස අවුරුදු 91 ක්.
ජෝන්ස්ගේ ප්‍රචාරක ආර්නෝල්ඩ් රොබින්සන් ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, ඊයේ (3) රාත්‍රියේදී එක්සත් ජනපදයේ බෙල් එයාර් හි පිහිටි නිවසේදී ක්වින්සි ජෝන්ස් මෙලෙස අභාවප්‍රාප්ත වූ බවයි.
මයිකල් ජැක්සන්, ෆ්‍රෑන්ක් සිනාත්‍රා සහ තවත් බොහෝ ජනප්‍රිය පුද්ගලයින් සමඟ වැඩ කළ සංගීතඥයෙකු ලෙස ක්වින්සි ජෝන්ස් ඉහළ ජනප්‍රියත්වයක් උසුළයි.
ඒ අතරින් ඔහු වඩාත් ජනප්‍රිය වූයේ, මයිකල් ජැක්සන්ගේ 'Thriller' ඇල්බමයේ නිෂ්පාදකවරයා ලෙසයි.
වසර 75 කට වැඩි කාලයක් පුරා දිවෙන ජෝන්ස්ගේ වෘත්තීය ජීවිතය තුළ ඔහු ග්‍රැමී සම්මාන 28 ක් දිනා ඇත. එමෙන්ම ඔහු එමී, ටෝනි සහ ඔස්කාර් සම්මානවලින් ද පිදුම් ලැබූවෙකි.
ක්වින්සි ජෝන්ස් සම්බන්ධයෙන් තවත් සුවිශේෂීම කාරණාවක් නම් 1985 දී ඔහු ජැක්සන්, බෲස් ස්ප්‍රින්ග්ස්ටීන්, ටීනා ටර්නර් සහ සින්ඩි ලෝපර් ඇතුළුව එම කාලයේ අමෙරිකාවේ ජනප්‍රියම ගායකයින් 46 දෙනෙකු එක්ව 'We Are the World' ගීතය පටිගත කිරීමයි.
එය ඉතියෝපියාවේ විනාශකාරී සාගතයෙන් පෙළෙන පිරිස් වෙනුවෙන් මුදල් එකතු කිරීම සඳහා කළ නිර්මාණයකි.
සංගීතයට අමතරව ක්වින්සි ජෝන්ස් චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන් 50 කට වැඩි ගණනක ශබ්ද පටිගත කිරීම සඳහාත් දායක වී ඇත.
එමෙන්ම චිත්‍රපට නිෂ්පාදකයෙකු ලෙස 'The Color Purple' නිෂ්පාදනය කරන ලද්දේ ද ඔහු විසිනි.
මීට අමතරව ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනක් වන 'The Fresh Prince of Bel Air' හි නිෂ්පාදකයෙකු ලෙසත් ජෝන්ස් කටයුතු කර ඇත.
පෞද්ගලික ජීවිත සම්බන්ධයෙන් ගත් කළ ක්වින්සි ජෝන්ස්, තුන් වතාවක් විවාහ වී ඇති බව කියවේ.
170 Views
Comments