පුතාගේ විභාගයට ආශිර්වාද ගන්න අනුරපුරට ගිය පියාට අත්වුණු අවාසනාවන්ත ඉරණම

තම දරුවාගේ ශිෂ්‍යත්ව විභාගයට ජය ශ්‍රී මහ බෝ සමිඳුගේ ආශිර්වාද ලබා ගැනීමට අනුරාධපුරයට පැමිණ මිහින්තලේ, මහකනදරාව වැවේ දිය නෑමට ගිය පියෙකු පෙරේදා (22 දා) සවස ජීවිතක්ෂයට පත්වූ බව මිහින්තලේ පොලිසිය පවසයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහනුවර, තෙල්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි එස්. ජී. සුනන්ද නිහාල් ඉරෝෂණ යන පුද්ගලයෙකි.
මෙම පුද්ගලයාගේ දරුවෙකු මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින බැවින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාද ලබාගැනීම සඳහා ඥාති පිරිසක් සමග පෙරේදා (22 දා) උදෑසන අනුරාධපුරයට පැමිණ නැවත නිවෙස බලා යන අතරමඟදී මිහින්තලයට පැමිණ මහකනදරාව වැවේ දිය නෑමට ගොස් මෙම අනතුර සිදුව තිබේ.
මරණකරු පිරිස සමග දිය නාමින් සිටියදී තමන්ට පිහිනීමට හැකියාව තිබෙන බව පවසා මහකනදරාව වැව මැදට පිහිනා ගොස් පැරණි දිරා ගිය ගහකට නැඟ ඉන් පහළට පැන ඇති අතර නැවත දිය මතුපිටට නොපැමිණීම හේතුවෙන් සියලු දෙනා කලබල වූ බවත් ඥාතීහු පැවසූහ.
පසුව මේ සම්බන්ධයෙන් මිහින්තලය පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම විසින් පැයකට පමණ ආසන්න කාලයකට පසුව එම පුද්ගලයාගේ සිරුර සොයා ගනු ලැබීය.
එම පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම පවසන්නේ මෙම පුද්ගලයා මසුන් ඇල්ලීම සඳහා අටවා තිබූ දැලකට හසුව සිටියදී සොයාගත් බවයි.
අනතුරුව වන්දනා නඩයේ සිටි බීමත් පුද්ගලයෙකු තමන් පොලිසියේ අයි.පී. කෙනෙකු බවත්, මෙම පුවත වාර්තා කළහොත් පහරදෙන බව මාධ්‍යවේදීන්ට පවසමින් කලහාකාරී ලෙස කටයුතු කළේය.
431 Views
Comments