ලොවක් කැළඹූ වැග්නර් නායකයා රුසියාවේදී අභිරහස් ලෙස ජීවිතක්‍ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
24

ලොවක් කැළඹූ වැග්නර් නායකයා රුසියාවේදී අභිරහස් ලෙස ජීවිතක්‍ෂයට

ලොවක් කැළඹූ වැග්නර් නායකයා රුසියාවේදී අභිරහස් ලෙස ජීවිතක්‍ෂයට

රුසියාවේ කුලී හමුදාව වන වැග්නර් හමුදාවේ නායක යෙව්ගනි ප්‍රිගොෂින් මිය ගොස් ඇතැයි වාර්තා පල වනවා. 

 

විදෙස් මාධ්‍ය පැවසුවේ රුසියාවේ මොස්කව් නුවර උතුරු දිග ප්‍රදේශයේ සිදුවූ ගුවන් යානා අනතුරකින් ඔහු මිය ගොස් ඇති බවට වාර්තා පළවන බවයි. 

 

පෞද්ගලික ගුවන් යානයක් එලෙස කඩා වැටී ඇති අතර එහි සිටි මගීන් දසදෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පැවසෙන්නේ.

 

අනතුරට හේතුව යානයේ තිබූ බෝම්බයක් පුපුරා යාම බවත්, එය වයින් පෙට්ටියක් තුළ සගවා තැබෙන්නට ඇති බවටත් වාර්තා පල වනවා. 

 

යානයේ ගමන්ගත් පිරිසගේ නම් ලැයිස්තුවේ වැග්නර් නායකයාගේ නම ද ඇතුළත් බව සඳහන්. 

 

අනතුරින් මියගිය සියලුදෙනාගේ සිරුරු සොයා ගෙන ඇති නමුත් එහි වැග්නර් නායකයාගේ සිරුර ඇති ද යන්න මෙතෙක් තහවුරු කර නැහැ.
 

කෙසේවෙතත් රුසියානු බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පැවසුවේ වැග්නර් නායකයා ද අනතුරින් මිය ගොස් ඇති බවයි.

 

යානයේ ගමන් ගත් සියලු දෙනා වැග්නර් හමුදාවේ ප්‍රබලයින් මෙන්ම ප්‍රිගොෂින්ගේ සමීපතමයින් බවයි වාර්තා වන්නේ. 

 

ඒ අනුව මියගිය පිරිස අතරට වැග්නර් හමුදාවේ නියෝජ්‍ය ප්‍රධානියා වූ දිමිත්‍රි උට්කින් ද අයත්. 

 

කෙසේවෙතත් ඇතැම් විදෙස් මාධ්‍ය පැවසුවේ අදාළ අනතුර සිදුවන අවස්ථාවේ වැග්නර් නායක යෙව්ගනි ප්‍රිගොෂින් ගමන් කර ඇත්තේ වෙනත් ගුවන් යානයක බවට ද වාර්තා වන බවයි.

 

 ඒ අනුව ඔහු මියගියේ ද මරණයෙන් ගැලවුනේ ද යන්න තවමත් අභිරහසක් බවයි පැවසෙන්නේ.

 

එහෙත් රුසියාව දැනටමත් වැග්නර් නායකයාගේ මරණය තහවුරු කර අවසන්. 

 

කෙසේවෙතත් වැග්නර් නායක යෙව්ගනි ප්‍රිගොෂින් මිය ගොස් ඇති බවට වාර්තා පල වන්නේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ පාලන තන්ත්‍රයට එරෙහිව ඔහු දියත් කළ අසාර්ථක කුමන්ත්‍රණයෙන් මාස දෙකකට පසුවයි. 

 

යෙව්ගනි ප්‍රිගොෂින් යනු පුටින්ගේ සමීපතමයෙකු වන අතර ඔහු රුසියානු ජනාධිපතිවරයාගේ හිටපු සූපවේදියා ද වනවා.

views

252 Views

Comments

arrow-up