මෙරට මිරිස් වගාව සංවර්ධනය කොට වියළි මිරිස් නිෂ්පාදිතය ඉහළ නැංවීමට පියවර

දැනට ශ්‍රී ලංකාවට අවශ්‍ය වියළි මිරිස්වලින් 90% කටත් වඩා ආනයනය කෙරෙන අතර, වාර්ෂිකව මෙරටට මිරිස් ආනයනය කිරීම සඳහා වැය කරන මුදල රුපියල් බිලියන 52 ඉක්මවන බව වාර්තා වේ.
ලංකාවේ වාර්ෂික මිරිස් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 52,500 ක් වන අතර, ඉන් මෙරට තුළ නිෂ්පාදනය කෙරෙන්නේ මෙට්‍රික් ටොන් 5000 ක් පමණි.
ඉතිරි මෙට්‍රික් ටොන් 47,500 ක ප්‍රමාණය ආනයනය කිරීමට සිදුව තිබේ.
එහෙයින්, විදේශයන්ට ගලා යන විශාල විනිමය ප්‍රමාණයක් ඉතිරිකර ගැනීමේ අපේක්ෂාවෙන් මෙම වසර තුළ මෙරට මිරිස් අවශ්‍යතාවයෙන් 20% ක් රට තුළ නිපදවීමත්, ඉදිරි වසර 03 තුළදී එම ප්‍රමාණය 80% දක්වා වර්ධනය කර ගැනීමත් අරමුණු කොට ගෙන රාජ්‍ය හා පුද්ගලික අංශයේ මැදිහත්වීමෙන් නව කෘෂි තාක්ෂණය උපයෝගී කරගනිමින් දිවයින පුරා මිරිස් වගා කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත.
ටියුලිප් පුද්ගලික සමාගම නැමැති ආයතනයක් විසින් මැල්සිරිපුර ප්‍රදේශයේ අක්කර 36 ක භූමි ප්‍රදේශයක් පුරා වගා කර ඇති මෙම සාර්ථක මිරිස් වගාව පසුගියදා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ නිරීක්ෂණයට ද ලක් විය.
විසිරි ජල බිංදු තාක්ෂණය (Drip Irrigation System), ආරක්ෂිත දැල් සහ නිෂ්පාදන වියදම් අවම කර ගැනීම සඳහා වන විවිධ තාක්ෂණික උපක්‍රම යොදා ගනිමින් සිදු කොට ඇති මෙම මිරිස් වගාව මගින් දැනටමත් අක්කරයකින් රුපියල් ලක්ෂ 32 – 40 අතර ප්‍රමාණයක ආදායමක් උපයා ගැනීමට එම ආයතනය සමත් වී ඇති බව වාර්තා වේ.
279 Views
Comments