ලංකා පේ වෙතින් ජාත්‍යන්තරව පිළිගත් ක්‍රෙඩිට් කාඩ්පතක්

කොමර්ෂල් බැංකුව, ලංකා පේ සමග ඒකාබද්ධ වෙමින් ජාත්‍යන්තරව පිළිගැනෙන ජාතික ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පතක් අද දින හඳුන්වා දුන් අතර මෙමගින් ශ‍්‍රී ලංකාවේ ගෙවීම් කාඩ්පත් අංශය දැවැන්ත පියවරක් තබන ලදී.
මෙම ජාතික කාඩ්පත් යෝජනා ක‍්‍රමය ලංකා පේ ආයතනය ජපානය පදනම් කරගත් ජාත්‍යන්තර කාඩ්පත් ක‍්‍රමයක් වන JCB ඉන්ටර්නැෂනල් සමග ඒකාබද්ධ වෙමින් ආරම්භ කළ වැඩසටහනක් වන අතර ලෝකය පුරා JCB කාඩ්පත් හිමියන් මිලියන 150 කට වැඩි සංඛ්‍යාවක් සිටී.
ශ‍්‍රී ලංකාව තුළ ලංකා පේ ක්‍රෙඩිට් කාඩ්පත් නිකුත් කරන පළමුවැනි අවස්ථාව මෙය වන අතර, ක්‍රෙඩිට් කාඩ්පත් වර්ග තුනක් සහ ඩෙබිට් කාඩ්පත් වර්ග දෙකක් සහිතව ලංකා පේ කාඩ්පත් පහක් නිකුත් කිරීමත් ශ‍්‍රී ලංකාවේ පළමු වතාවට සිදුවිය.
ලංකා පේ කාඩ්පත පිරිවැය සඵලතාවයෙන් යුක්ත නවීන තාක්ෂණයෙන් සහ ඉහළම ආරක්ෂණ ක‍්‍රමවේදයන්ගෙන් සමන්විත වේ. ලංකා පේ කාඩ්පත් වලින් සිදුකරන සියළුම දේශීය ගනුදෙනු දේශීයව අනුමත වන අතර මෙම කාඩ්පත මගින් විදේශීය ගනුදෙනු සිදුකරන විට එය JCB ජාත්‍යන්තර ජාලය මගින් අනුමත වේ. මෙම වැඩසටහනේදී දේශීයව ගනුදෙනු සිදුකරන විට විදේශ විනිමය රටින් පිටතට නොයන නිසා එමගින් විදේශ විනිමය විශාල ප‍්‍රමාණයක් ඉතිරි කර ගැනීමට හැකි වන බව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි.
ලංකා පේ කාඩ්පත් ශ‍්‍රී ලංකාවේ එළිදැක්වීමේ අවස්ථාව උත්සවාකාරයෙන් කොළඹදී සිදුකළ අතර එම වැඩසටහනට JCB, කොමර්ෂල් බැංකුව සහ ලංකා පේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් පිරිසක් සහභාගී විය. මෙහිදී, ඔවුන් අවධාරණය කළේ මෙමගින් කාඩ්පත් හිමියන්ට ඉහළ සේවාවක් සහ පාරිභෝගික වරණයක් ලබාදෙන බවයි.
342 Views
Comments