"දිසාපාමොක් පන්හිඳ" - සිවුවන කොටස
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
25

"දිසාපාමොක් පන්හිඳ" - සිවුවන කොටස

"දිසාපාමොක් පන්හිඳ" - සිවුවන කොටස

ජීවිතයේ අතිශය සුවිශේෂී දවසක්.
අවුරුදු දහහතක් පුරා ලැබූ අධ්‍යාපනයේ මල් ඵල නෙලා ගන්නට පා තැබූ දවස.
හැබැයි, මට ඉගැන්වීම කියන එක අමුතු දෙයක් නෙමෙයි.

ගුරු පත්වීම් ලැබෙනකල් වරකාපොල බහුතාක්ෂණික ආයතනයේ ඉගැන්නුවා.

සිංහල, නිදහස් අධ්‍යයනය විෂයයන් ඉගැන්නුවා.

 

ඒ විතරක් නෙමෙයි, විශ්ව විද්‍යාලයේ ඉගෙන ගනිද්දිත් නිවාඩු කාලවල ගමේ පාසලේ භූගෝල විද්‍යාව ඉගැන්නුවා,ගුරුවරු නැති හින්ද.

 

ගෙදරින් පිටත් වෙන කොට කතා වෙලා ගිය දේවල් ඔක්කොම කණ පිට පෙරළුණා.


කන්දේගම.

මහවැලි බී කලාපයට අයිති අලුතින් සංවර්ධනය කරන ගමක්.

අලුතින් ම ජනතාව පදිංචි කරපු ගමක්.

ඒ ගමේ කොහොමද නවාතැන් හොයන්නෙ.

පුංචි පුංචි ගෙවල්.

ලෝක ආධාරවලින් ජීවත් වෙමින් අලුතින් වගා කටයුතු කරන මිනිස්සු.

 

විදුහල්පතිතුමයි ගුරු මණ්ඩලය අට දෙනයි. මම ගියාට පස්සෙ නව දෙනයි.

හැමෝම පදිංචිය පාසල් පරිශ්‍රයේමයි.

කාන්තා චමරියේ තුන් දෙනයි. මගේ නවාතැන වුණෙත් ඒ චමරිය.

හැබැයි අමුතු ම අමුතු, කිසිදා අමතක නොවෙන අතිශය නැවුම් අත්දැකීම් එමටයි.

 

අලුත් ගුරු මිතුරියන් මට කිසිම දෙයක් කීවෙ නෑ.

 

"ඔයා ඉඳල ම බලන්නකො. කොහොමද මෙහෙ ජීවිතේ කියල" එහෙම තමයි කීවෙ.

 

පාසල් වත්තෙම ලොකු ළිඳක් තිබුණා. මුල් ම දවසෙ ගිය ගමන් ම ඇඟ පත සෝදා ගන්න ළිඳට ගියා.

 

වතුර සෑහෙන්න පිරිලා. මට හරිම සතුටක් දැනුණ. මගෙ හිත කතා කළා.

 

"කොච්චර පෑවිල්ල වුණත් වතුර ටික තියනවනෙ "

 

බාල්දිය ළිඳට දැම්මා. තෙල් තට්ටුවක් තමයි වතුර වෙනුවට බාල්දියට ආවෙ.

 

මම බාල්දිය බිම තියලා විපරම් කර බැලුවා. මට එක වරටම මතක් වුණේ අම්මා පොල් තෙල් හිඳින හැටි. පොල් කිරි ටික ළිපේ තියලා හින්දපුවාම තෙල් ටික පාවෙමින් තියන හැටි.

 

"කිවුල් වතුර"

 

ඔන්න පළවෙනි අත්දැකීම.


ඒවා නාන්න බෑ. නෑවාම කොණ්ඩෙ හරිම අමුතුයි. පීරන්නත් අමාරුයි.

 

"අපි නාන්න වැවට යන්නෙ. වැවේ වතුර ඔහොම නෑ. අව්ව බැහැ ගෙන එනකොට යමු"

 

මම ඒ වෙන කොට කවමදාවත් වැවකින් නාලා තිබුණෙ නෑ. පරිසරය නරඹමින් සැතපුමක් පමණ දුර ඇවිද ගෙන ගියා. මම ගහක් යටට වෙලා බලාගෙන හිටියා.

 

හැන්දෑවනෙ.කුඹුරුවලට, හේන්වලට ගිය අය එක්කෙනා දෙන්නා වැවට ආවා.

ඒ ආපු ගැහැනු අය දිහා මං බලා හිටියා. මට හරි ම පුදුමයි.

 


ඒ අයගෙ ඔළුව උඩ තිබුණු ගමන් මලු බිමින් තිබ්බා. හිස් මුදුනට කරල බැඳල තිබුණූ කොණ්ඩය කඩලා ඒ ඇඳුම පිටින් ම වැවට බැස්සා.

 

කීප වතාවක් දියේ එබුණු. ඔවුන් ගොඩට ආවා. හිසකෙස්වලයි ඇඳුම්වවලයි බේරූන වතුර මිරිකලා දැම්මා. ගමන් මලු ටික ඔළුවෙ තියාගෙන යන්න ගියා.


මේක නම් මහ අමුතු නෑමක්නෙ. මගෙ හිත කෑ ගහන්න පටන් ගත්තා. මම එදා වතුරට බැහැලා කකුල් දෙක සේදුවා විතරයි.

 

මීළඟ කොටසෙන් හෙට හමුවෙමු....

 

පැරණි කොටස් බලන්න

 

 

views

438 Views

Comments

arrow-up