භූමිකම්පාවක් මැද කන්න බොන්න ලැබෙන ස්පාඤ්ඤයේ අරුම පුදුම අවන්හල

ලොව අරුම පුදුම අවන්හල් සොයා යන ගමනේ වෙනස්ම ආකාරයේ අවන්හල් සංකල්පයක් ස්පාඤ්ඤයෙන් අසන්නට ලැබේ. එය නමින් Disaster යි. පාරිභෝගිකයන් බලාපොරොත්තු නොවන ආකාරයේ ත්‍රාසය, භීතිය පිරුණු රස අත්දැකීමක් ලබා දෙන අවන්හලක් ලෙස එය ලෝක ප්‍රසිද්ධය.
මෙහි දක්නට ලැබෙන සුවිශේෂීම කරුණ වන්නේ මෙම අවන්හල තුළදී ආහාර පිළිගැන්වෙන්නේ රිච්ටර් මාපක 7.8 ක භූමිකම්පා තත්ත්වයක් සමග වීමයි. සාමාන්‍යයෙන් භූමිකම්පාවකදී උත්සාහ කරන්නේ ජීවිතය බේරාගැනීමට වුවත් මෙහිදී උත්සාහ ගත යුත්තේ තම කෑම පිඟාන ආරක්ෂා කරගැනීමටයි.
අවන්හල් සේවකයින් සහ කාර්ය මණ්ඩලය විශේෂ ඇඳුම් කට්ටලයකින් සහ හිස්වැසුමින් සැරසීම අවශ්‍ය වන අතර මෙහිදී පිළිගැන්වෙන ආහාරත් සාමාන්‍යයෙන් වැඩි ස්කන්ධයක් සහිත ඒවායි. භූමිකම්පාව ඇති වන්නේ කොයි මොහොතේද යන්න කිසිවෙකු නොදන්නා අතර ඒ නිසාම ආහාර පිළිගැන්වූ මොහොතේ සිට ආහාර ගෙන නිම වෙනතෙක් සියළු පාරිභෝගිකයන් ඉතා සෝදිසියෙන් සිටිය යුතුයි. මෙම ආපනශාලාව කෙතරම් ජනප්‍රියද යත් එයින් මේසයක් වෙන්කරවා ගැනීමට නම් කලින් වෙන්කරවා ගැනීම අත්‍යවශ්‍යය.
පිටතින් ඉතා සාමාන්‍ය ස්ථානයක් සේ දිස්වන Disaster restaurant හි ඇතුළු වනවිටම ඇති මහල ළමුන් සඳහා වෙන්වුණු පිටසක්වල තේමාවකින් නිර්මාණය කර ඇත. සෑම සති අන්තයකදීම පිටසක්වල ජීවින් සම්බන්ධ විනෝදාත්මක ක්‍රියාකාරකම් රාශියක් කුඩා දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක ය. වැඩිහිටියන් සඳහා නිර්මාණය වූ ශාලාව ඇත්තේ පොළොව මට්ටමට පහළින් ය. විදුලි සෝපානයක් මගින් පෘථිවියේ ගැඹුරට යන්නාක් මෙන් ත්‍රාසය පිරි හැඟීමක් විඳිමින් මෙම අවන්හල් අත්දැකීම ලබා ගත හැක.
361 Views
Comments