ලක්ෂ තුනක ජනතාව ඉන්න යුරෝපයේ එකම බෞද්ධ රට මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
02

ලක්ෂ තුනක ජනතාව ඉන්න යුරෝපයේ එකම බෞද්ධ රට මෙන්න

ලක්ෂ තුනක ජනතාව ඉන්න යුරෝපයේ එකම බෞද්ධ රට මෙන්න

ලෝකයේ විශේෂ රටවල් පිළිබඳව අප කරන ගවේෂණයේ අදත් ඉඩක් වෙන් වෙන්නේ යුරෝපියානු රටක් වෙතයි. සාමාන්‍යයෙන් යුරෝපය යනු බහුතර ක්‍රිස්තියානි සහ කතෝලික වැසියන් ජීවත් වන මහද්වීපයකි. නිල වශයෙන් ප්‍රකාශිත රාජ්‍යයන් 44 ක් ඇති යුරෝපයේ, අද වනවිට විශාල වශයෙන් නිරාගාමිකව විසීම ප්‍රමුඛ වී තිබේ.

 

 

කෙසේ නමුත් අද අපේ අවධානය යොමු වන්නේ යුරෝපයේ ඇති එකම බෞද්ධාගමික රාජ්‍යය වන කල්මීකියාව පිළිබඳවයි. රුසියාවේ කොනැක්ස් කඳුවැටියට උතුරින් කැස්පියන් මුහුදුට මායිම්ව පිහිටි කල්මීකියාව පරිපාලනමය වශයෙන් අයත් වන්නේද රුසියාවටයි. වර්ග කිලෝමීටර් 76100 ක පමණ භූමි ප්‍රමාණයකට හිමිකම් කියන මේ කුඩා ස්වයං පාලන ප්‍රදේශය තුළ ජනතාව ලක්ෂ 3 ක් පමණ ජීවත් වේ. ඉන් බහුතරයක් බෞද්ධ ජනතාවයි.

 

 

සුන්දර විල් පද්ධතියකින් සමන්විත වන වසර පුරා වෙනස් වන දේශගුණික විපර්යාසයන් සමගින් ඍතු භේදය දක්නට ලැබෙන ඉතා සෞම්‍ය රාජ්‍යයක් ලෙස එය හඳුන්වා දිය හැකියි. සාමාන්‍යයෙන් එරට ජනවාරි මාසයේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 5 ටත් ජූලි මාසය වනවිට සෙල්සියස් අංශක 24 ටත් උෂ්ණත්වය වෙනස් වේ. 

 

 

කල්මීකියාව, රුසියාව යටතේ පරිපාලනය වීම හේතුවෙන් එරට මුදල් ඒකකය වන්නේත් රුසියානු රූබලයයි. රටේ අගනගරය වන එලිස්ටා නගරය එරට විශාලතම නගරය වේ. රටේ ප්‍රධාන භාෂාව රුසියානු බසයි. බහුතරයක් බෞද්ධ ජනතාව හැරුණු විට ඇතැමුන් රුසියානු ඕතඩොක්ස් නිකාය අදහන අතර ඇතැමුන් නිරාගාමිකව වාසය කරයි.

 

 

පරිපාලන ප්‍රදේශ 11 කට බෙදී ඇති කල්මීකියානු රාජ්‍ය රුසියානු ජනාධිපතිවරයා විසින් පත්කරන පාලකයෙකු සහ පාර්ලිමේන්තුවකින් පාලනය වේ. වර්තමානය වනවිට එරට ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන්නේ බටු කසිකොව් නමැති 40 හැවිරිදි හිටපු රුසියානු කික් බොක්සිං ශූරයෙකි. එරට බොහෝ කටයුතු වලදී මුල් තැන හිමි වන්නේ බෞද්ධ ආගමට වන අතර රටේ ජාතික කොඩියේද එය පිළිඹිබු වන පරිදි සුදු නෙළුම් මලක් තිබීම සුවිශේෂීය.

 

 

ජනප්‍රවාද වල සඳහන් වන ලෙස මොංගෝලියානු අධිරාජ්‍යයා ලෝකයේ බොහෝ රටවල් ආක්‍රමණය කළ අවස්ථාවේදී ඉන් ජීවිත ආරක්ෂා කරගෙන පලා ආ පිරිසකින් කල්මීකියානු රාජ්‍ය බිහි වී තිබේ. එලෙස පැමිණි ජනතාවත් සමග ටිබෙට් බුදුදහම එරට ප්‍රචලිත වී ඇත.

 

 

ඉතිහාසයේ වරින්වර රුසියාව විසින් කල්මීකියාව ආක්‍රමණය කිරීමට උත්සාහ කළද, පසුකාලීනව දෙරට අතර සමගි සන්ධානයක් ගොඩනගා ගෙන ඇත. කල්මීකියාවේ බෞද්ධ ජනතාව සිය ආගමික නායකයා ලෙස සලකන්නේ ටිබෙටයේ දලෙයිලාමා තුමාය. ඒ නිසාම එරට බුදුදහම ටිබෙටයේ මහායාන බුදුදහමට විශාල වශයෙන් සමානය. Golden Temple නමින් හඳුන්වන නැගෙනහිර සහ මධ්‍යම යුරෝපයේ විශාලම බෞද්ධාගමික ගොඩනැගිල්ල තිබෙන්නේද කල්මීකියාවේ වීම විශේෂත්වයකි.

 

 

මේ සුන්දර රාජ්‍යය නැරඹීමට යාමට නම් පළමුව රුසියානු තානාපති කාර්යාලය හරහා රුසියානු වීසා ලබා ගත් යුතුය. අනතුරුව රුසියානු මොස්කව් ගුවන් තොටුපොළෙන් කල්මීකියාව බලා ගුවනින් හෝ දුම්රයෙන් යාමේ හැකියාව ඇත. ඉතින් ලෝකයේ ඇති තවත් සුන්දර මෙන්ම වැඩි කතාබහට ලක් නොවූ සුවිශේෂී රාජ්‍යයක් තොරතුරු සමගින් ලබන සතියේ හමුවෙමු.

views

486 Views

Comments

arrow-up