කැන්ගරු දේශයෙන් ඇසෙන ඩිජෙරිඩෝ නාදය

ඕස්ට්‍රේලියාවේ ආදිවාසී ජන කොට්ඨාසය ඇබොරොජින් යන නමින් හඳුන්වයි. වසර 80,000 ක් තරම් ඈත අතීතයක සිට පැවත එන මෙම ජන කොට්ඨාසය සතු ව අපූරු සංස්කෘතියක් ඇත.
ඔවුන්ගේ උත්සව සඳහා සංගීතය ලබා දීමට ඔවුන් භාවිත කරන සංගීත භාණ්ඩ කිහිපයක් ඇත. ඒ අතුරින් ප්‍රධාන සංගීත භාණ්ඩය වන්නේ ඩිජෙරිඩෝ නම් උපකරණ යි.
උතුරු ඕස්ට්‍රේලියාවේ මීට වසර 40,000 කට පමණ පෙර ජීවත් වුණු ඇබොරොජින්වරුන් ඩිජෙරිඩෝ සංගීත භාණ්ඩය මුලින් ම භාවිත කරන්නට ඇති බවට විශ්වාසයක් පවතී.
මුල් යුගයේ දී ඩිජෙරිඩෝ සංගීත භාණ්ඩය සෑදීම සඳහා වේයන් සිදුරු කළ යුකැලිප්ටස් අතු භාවිත කළ බව පැරණි මූලාශ්‍රවල සඳහන් වේ. පසු කලෙක උණ බම්බු, අග්ගා සහ යුකා දැව ඩොජෙරිඩෝ භාණ්ඩය සෑදීම සඳහා භාවිත කර ඇත. අද වන විට වීදුරු, ෆයිබර්ග්ලාස්, ලෝහ, PVC බට, මැටි වැනි ද්‍රව්‍ය භාවිත කරමින් ඩිජෙරිඩෝ භාණ්ඩ නිර්මාණය කරනු ලැබේ.
මුඛයෙන් පිට කරන වාතයෙන් මෙහි ශබ්දය උපදින නිසා විශේෂිත ක්‍රමවලට අනුව හුස්මගැනීම සිදු කළ යුතු යි. ඩිජෙරිඩෝ වාදකයන් භාවිත කරන වඩාත් ජනප්‍රිය ශිල්පීය ක්‍රමය වන්නේ වෘත්තාකාර හුස්ම ගැනීමේ ක්‍රමය යි.
ඩිජෙරිඩෝ සංගීත භාණ්ඩයෙන් නිකුත් වන අපූරු ශබ්දය නිසා සමහර ලෝ ප්‍රකට සංගීත නිර්මාණකරුවන් සිය නිර්මාණ සඳහා මෙම සංගීත භාණ්ඩය යොදා ගෙන තිබේ. ප්‍රසිද්ධ ඕස්ට්‍රේලියානු වාදකයකු වන චාලි මැක්මහොන් මෙම භාණ්ඩය ලොව පුරා ජනප්‍රිය කිරීමට මුල් වුණු එක් පුද්ගලයෙකි.
311 Views
Comments