නිරෝගී දිවිපෙවෙතකට ආයුබෝ යෝග පාඩම - පළමු කොටස

වත්මන් දෛනික ජීවන රටාව තුළ බොහෝ අය සිය ජීවිත ගත කරන්නේ ඉතාමත් කාර්යබහුල සමාජ වටපිටාවක් තුළයි. ඒ හේතුවෙන් සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම, ව්‍යායාම් කිරීම ආදී නිරෝගි සම්පන්න සෞඛ්‍යයක් පවත්වා ගැනීමට අවශ්‍ය බොහෝ දේ බොහෝ දෙනෙකු අතින් ගිලිහී යමින් පවතී.
එසේ නම් අද අප සූදානම් වන්නේ නිරෝගි සම්පන්න ජීවිතයකට අවශ්‍ය ඒ නිරෝගී භාවය රැක ගැනීම උදෙසා දවසේ ඔබට ලැබෙන සීමිත කාලසීමාව තුළ නිවසේදීම ඉතාපහසුවෙන් සිදුකළ හැකි යෝග පිළිබදව අවබෝධයක් ලබා දීමටයි.
මෙහිදී පළමුකොට 'යෝග' යනු කුමක්දැයි හඳුනා ගැනීම ඉතාම වැදගත්ය. 'යෝග' යන්නෙහි සරලම අදහස නම් එකකට එකක් සම්බන්ධවීමයි. මෙම සම්බන්ධය අනිවාර්යයෙන්ම යහපත් එකක්ම විය යුතුයි. භාරතයේ උපත ලද යෝග දර්ශනය කය හා මනස නිරෝගී සුවදායක තෝතැන්නක් වෙත රැගෙන යාමේ ප්‍රබල අපේක්ෂාවකින් හා ශක්තියකින් යුතුය.
ඉන්දියාවේද, යෝග දර්ශනය මුල් කාලයේ භාවිත වූයේ, ආධ්‍යාත්මික සුවය ගෙන දෙන භාවනා ක්‍රමයක් සහ විමුක්තිය සඳහා ප්‍රගුණ කළ හැකි දර්ශනයක් ලෙසිනි. පසුකාලීනව මිනිසාගේ ශාරීරික හා මානසික සුවය ආරක්ෂා කර ගැනීම සඳහා යෝග දර්ශනය යොදා ගැනිණි.
අද වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය පවා “නිරෝගී මිනිසා” යනුවෙන් අර්ථකථනය කරන්නේ, ශාරීරික, මානසික, සමාජීය හා ආධ්‍යාත්මික වශයෙන් පිරිපුන් පුද්ගලයෙක් ලෙසයි. යෝග ව්‍යායාම මගින් මෙකී කරුණු පරිපූර්ණ වීම සිදු වේ. එනම් ශාරීරික, මානසික, සමාජයිය හා ආධ්‍යාත්මික වශයෙන් යහපත් සම්බන්ධය ගොඩ නැගීම හරහා මිනිසා සුවතාවයට පත් කිරීමයි. ඒ අනුව යෝග ව්‍යායාම ශාරීරික හා මානසික යන දෙයාකාරයෙන් මිනිසා පරිපූර්ණ කරයි.
අනෙක් අතට, අද පවත්නා කලබලකාරී කාර්මික ලෝකය තුළ මිනිසා නානාවිධ මානසික හා කායික රෝගී තත්ත්වයකට ගොදුරු වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබේ. අතිධාවනකාරී කාල රාමුවක සිරවී පුද්ගලයන් මනෝ කායික ගොදුරු වීමේ ප්‍රවණතාවයක් ඉස්මතු වෙමින් පවතී. මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ මිනිසා තුළ තිබිය යුතු මානසික හා ශාරීරික සමබරතාව බිඳී යාමයි.
ජිවියා යනු, හුදෙක් භෞතික වස්තුවක් නොවන අතර ආයුර්වේදයට හා යෝග දර්ශනයට අනුව ජීවියා කොටස් 4 ක සුසංයෝජනයකි.
1. ශරීරය (Body)
2. ඉන්ද්රිය (Senses)
3. මනස (Mind)
4. ආත්මා (Self)
මේ අනුව යෝග දර්ශනයෙන් බලාපොරොත්තු වන්නේ මේ කොටස් හතරේ සුභ සාධනය ඉතා යහපත් අන්දමින් පවත්වා ගෙන යාමයි. බොහෝ විට අප රෝගී බවට පත්වන්නේ ඉහත කොටස් හතරේ සමබරතාව නොමැති වීමෙන් ඇති වන්නා වූ ක්රියාවේ වෙනස්කම් නිසාය. මේ අසමතුලිතතාවන් ඉවත් කොට ශාරීරික හා මානසික වශයෙන් පුද්ගලයා යහපත් මට්ටමකට රැගෙන ඒම 'යෝග' මගින් සිදුවේ.
ලබන සතියේදී අපි බලාපොරොත්තු වන්නේ යෝග ව්‍යායාමයට අවැසි උපදෙස් කිහිපයක් ඔබත් සමග සාකච්ඡා කිරීමටයි.
මූලාශ්‍රය -
සිත කය සනහන යෝග
ආර්. එස්. ජයවර්ධන
342 Views
Comments