පෝෂණීය සහ ඖෂධීය ගුණ සපිරි කංකුං

කංකුං වල විද්‍යාත්මක නාමය 𝐼𝑝𝑜𝑚𝑜𝑒𝑎 𝑎𝑞𝑢𝑎𝑡𝑖𝑐𝑎, වන අතර එහි ජන්ම භූමිය වනුයේ චීනයයි. කංකුං, චීනය, ඉන්දියාව, මැලේසියාව, අප්‍රිකාව, බ්‍රසීලය, බටහිර ඉන්දීය කොදෙව් සහ මධ්‍යම ඇමරිකාවේ ජනප්‍රිය එළවළුවකි. එනමුදු ශ්‍රී ලංකාව තුළ කංකුං ඌන පරිභෝජනයට ලක් වන ශාකයක් ලෙස සලකනු ලබයි. ඊට ප්‍රධාන හේතු සාධක ලෙස, මෙම ශාක, වාණිජමය බෝගයක් වශයෙන් මහා පරිමාණයෙන් වගා නොකිරීම, ස්වභාවිකව වේගයෙන් ව්‍යාප්ත වීම නිසා මිනිසුන් විසින් වල් පැලෑටි හෝ ආක්‍රමණශීලී විශේෂ ලෙස සැලකීම, සහ එහි ඇති පෝෂණීය අගය සහ ඖෂධීය වටිනාකම පිළිබඳව ඇති නොදැනුවත් භාවය දැක්විය හැකිය.
කංකුං ශාකයේ කඳේ, පත්‍රවල සහ මල් වල වර්ණය අනුව දම් සහ කොළ ලෙස වර්ග දෙකක් ඇත. ප්රශස්ත තත්ත්ව යටතේ 𝐼𝑝𝑜𝑚𝑜𝑒𝑎 𝑎𝑞𝑢𝑎𝑡𝑖𝑐𝑎 හට මාස 9කදී හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 190,000 ක නැවුම් ජෛව ස්කන්ධයක් නිපදවිය හැක. උණුසුම් මාසවලදී එහි මල් හට ගන්නා අතර, සාමාන්‍යයෙන් ශාකයක් බීජ 175-245 ක් පමණ නිපදවීමට සමත් වේ. නැවුම් කංකුං වල 90.3% කට ආසන්න ප්‍රමාණයක් ජලය අඩංගු වේ. එමෙන්ම, ප්‍රෝ-විටමින් A, ප්‍රෝ-විටමින් C ෆෝලේට් (Folates), නියසින් (Niacin), පිරිඩොක්සින් (Pyridoxine), ඇතුළු තවත් විටමින් වර්ග වලින්ද කංකුං පොහොසත් වේ.
එපමණක් නොව මෙහි පත්‍ර, බීටා කැරොටීන් (Beta Carotene), ලුටීන් (Lutein), සැන්තින් (Xanthine) සහ ක්රිප්ටොක්සැන්තින් (Cryptoxanthin) වැනි ෆීනෝලික ප්‍රතිඔක්සිකාරක බහුල මට්ටම් දරන අතර විවිධ ෆ්ලේවනොයිඩ් (Flavonoids) සහ ඇල්කලොයිඩ් (Alkaloids) වර්ග වලින්ද අනූනය. කංකුං අමු හෝ පිසූ පෝෂ්‍යදායී එළවළුවක් ලෙස භාවිතා වේ. මෙය විවිධ ආකාරයට පිසගත හැකි අතර, බැදීම, වාෂ්පයෙන් තැම්බීම, ජලය හෝ පොල් කිරි වලින් තැම්බීම, මද තෙලෙහි බැදීම හෝ ගම්මිරිස්, සුදුළූණු කලවම් කර මස්, මාළු හෝ ටෝෆු සමග සැකසීම ද සිදු කළ හැකිය.
එමෙන්ම, කංකුං පත්‍ර වලින් ලබාගන්නා යුෂ භාවිතා කරමින් විවිධ පාන වර්ග සකසා ගැනීමද සිදු කළ හැකිය. මීට අමතරව, සුප්, ස්මූති, පෙස්ටෝ සහ චිප්ස් සකස් කිරීමට ද කංකුං යොදා ගනී. නැවුම්, ළපටි කංකුං රැගෙන, සෝදා, කපා, අව්වේ වියළා, පසුව වියලන ලද කොළ දුඹුරු පැහැ වන තුරු රත් කර සිහින් කුඩු බවට අඔරා ගැනීම සිදු කරනු ලබයි. මෙමගින් තේ වැනි පාන වර්ග ද සැකසිය හැක.
කංකුං වල ඖෂධීය ගුණ බහුලව දැකිය හැකි අතර එබැවින්, ශාකයේ පත්‍ර, මල් සහ ඇතැම්විට සම්පූර්ණ ශාකයම ද දියවැඩියාව, වටපණු ආසාධන, උණ, අක්මාව සහ ඇස් ආශ්රිත රෝග ආදියට ප්‍රතිකාර කිරීමට යොදා ගැනේ. කංකුං හාවිතය ප්‍රචලිත කිරීම සඳහා එමගින් පාන වර්ග, සෝස් වර්ග, ස්ප්‍රෙඩ්ස් සහ ඖෂධීය අතිරේක (Herbal Supplements) වැනි අගය එකතු කළ නිෂ්පාදන හදුන්වා දීම දිරිමත් කිරීම මෙන්ම ආහාර සැකසීමේදී කංකුං අමුද්‍රව්‍යයක් හෝ එළවළුවක් ලෙස ඇතුළත් කිරීමට නව වට්ටෝරු සැකසීමද සිදු කළ හැකිය. මීට අමතරව කංකුං ශාකයේ පෝෂණීය අගය සහ ඖෂධීය වටිනාකම පිළිබඳව ජනතාව තුල ඇති දැනුවත්භාවය ඉහල නැංවීම තුළින්ද එහි පරිභෝජනය වැඩි කිරීමට අවකාශ සැලසෙනු ඇත.
1003 Views
Comments