"ජීවිතය ජයගන්න වෙර දරන සැමට ආදරයෙන්"
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
25

"ජීවිතය ජයගන්න වෙර දරන සැමට ආදරයෙන්"

"ජීවිතය ජයගන්න වෙර දරන සැමට ආදරයෙන්"

පුද්ගලයෙකුගේ ජීවිතය ජයගන්න විභාග හේතු වෙනවා වගේම විභාග නිසා පුද්ගලයෙකුගේ ජීවිතය බලාපොරොත්තු නොවන බිඳවැටීම් වලටත් මුහුණ දීමට සිදු වේ. මේ අනපේක්ෂිත බිඳවැටීම් ඇතැම් විට විවිධ නම් වලින් හඳුන්වන මානසික රෝගී තත්ත්වයන් විය හැකියි. රටක අනාගතය ඒ රටේ අධ්‍යාපනය ලබන දරුවන් බැවින් ඒ දරුවන්ගේ වර්තමානය යහපත් වීම අනිවාර්ය කරුණකි.

 

 

විභාගයක් ඇති විට පීඩනයක් දැනීම අතිශය සාමාන්‍ය තත්ත්වයකි. අපේ සිරුරේ ඇති හෝමෝන වල ක්‍රියාකාරීත්වය මෙලෙස පීඩනයක් ඇති කිරීමට හේතු වේ. එය රත් වූ යමක අත ගැටෙන විට වහා අත ඉවතට ගැනීමට මොළයෙන් නිකුත් වෙන පණිවිඩය මෙන්ම විභාගයකට ඇති බිය හේතුවෙන් එයින් ඉවත් වෙන ලෙස මොළයෙන් නිකුත් වෙන පණිවිඩයකි. නමුත් මේ පණිවිඩයම දිරි ගැන්වීමක් ලෙස යොදාගැනීම කළ නොහැක්කක් නොවේ. අවශ්‍ය වන්නේ එයට අපේ සිරුර, මනස හුරු කරවා ගැනීම පමණි.

 

 

යම්කිසි උත්සවයකට, චාරිකාවකට සහභාගි වන්නට ඇත්නම් අප එයට දින ගණනාවක් විවිධ සැලසුම් සහිතව සූදානම් වීම අපේ ජීවිතයේ සාමාන්‍ය කරුණකි. මේ මූලධර්මයම විභාග සඳහාද යොදා ගැනීම එතරම් අපහසු දෙයක් නොවේ. විද්‍යාත්මකව පිළිගත් මූලිකම ක්‍රමවේද තුනක් අනුගමනය කිරීමෙන් ඉතා සාර්ථකව, සෞඛ්‍ය සම්පන්නව ජීවිතයට එන කඩඉම් පසුකිරීම සිදු කළ හැකිය. 

 

 

පළමුව අධ්‍යාපනයට සුදුසු පරිසරයක් නිර්මාණය කරගත යුතුය. එය මහන්සි වී පාඩම් කිරීමෙන් හෝ පාඩම් කර විභාග සමත් වී තමන් කුමක් කරන්නේද වැනි ඍණාත්මක අදහස් වලින් මනස ඈත් කර තබන වටපිටාවක් වීම අනිවාර්යය. වර්තමානයේ රටේ පවතින අර්බුදකාරී තත්ත්වය මේ මානසිකත්වයට ප්‍රබලව බලපා ඇති බැවින් මෙය කාලීනව වැදගත් වන කරුණක්ය. අප ඉගෙන ගන්නා යම් දෙයක් වේද එය ජීවිතයේ කෙදිනක හෝ ප්‍රායෝගිකව වැදගත් වනු නියතය. 

 

 

දවස පුරාවට මහන්සි වී වැඩ කළද මතකයේ නොරැඳීම තවත් එක ගැටළුවකි. මෙහිදී වටහා ගත යුතු මූලිකම දේ වන්නේ මතකය ගොඩනැගීමට ප්‍රධාන වශයෙන්ම ඉවහල් වන්නේ නින්ද බවය. ප්‍රශස්ත නින්දක් එනම් පැය 6 ක නින්දක් හොඳ මතකයක් ඇති කිරීමට ප්‍රමාණවත් වේ. අපේ සිරුරට අඛණ්ඩව වැඩ කළ හැකි නමුත් ඒ වැඩ මතකයක් ලෙස ගබඩා කිරීමට යම් කාලයක් සහ අවකාශයක් අවශ්‍ය බව හැමවිටම සිහි තබා ගත යුතුය. පැය 6 ක ප්‍රධාන නින්දට අමතරව අතරමැදි විනාඩි 15-20 ක නින්දක්ද අනුමත කළ හැකි නමුත් දිවා කාලයේදී නින්ද සිරුරට එතරම් යහපත් නැත.

 

 

සාර්ථක අධ්‍යාපනයක් පසුපස ඇති තවත් වැදගත්ම කරුණක් වන්නේ ආහාරයි. අපේ සිරුරට තනිවම නිෂ්පාදනය කර ගත නොහැකි බොහෝ ශක්තීන් ලබාගැනීමට සිදුව ඇත්තේ ආහාර මගිනි. නමුත් මේ ආහාර සමබල වීම වැදගත්ය. පාඩම් කරන විට පිෂ්ඨ අධික ආහාර වලින් ඈත් වී එළවළු, පලතුරු හා පලා වර්ග වලට මූලිකත්වයක් දිය යුතුය. එසේම උදෑසන අවදි වී පාඩම් කටයුතු වල නිරත වන්නේ නම් සියල්ලට ප්‍රථම උණුසුම් වතුර ස්වල්පයක් පානය කර සිරුර හයිඩ්‍රජනීකරණය කිරීම අත්‍යවශ්‍ය වේ. මීට අමතරව විභාග පීඩනය අවම කිරීමට කළු චොකලට් වැනි නිර්දේශ කළ හැකි කුඩා ආහාර වර්ගද ඇත. 

 

 

විභාග භීතිකාවක් කර නොගෙන මේ සරල ක්‍රමවේද තුනෙන් ජීවිතය ජයගත් මෙන්ම පියවරෙන් පියවර ජය ගනිමින් සිටින බහුතරයක් අප අතරම සිටී. අවශ්‍ය වන්නේ තමන් විසින් තමා වෙනුවෙන් ඉලක්ක හඹා යාමට සිත දිරි ගන්වා ගැනීමයි. එවිට පීඩනයද දිනෙක ආශිර්වාදයක් මෙන් දැනෙනු නියතය.

views

455 Views

Comments

arrow-up