රාජපක්ෂලා දොට්ට දාන්න පොහොට්ටුව ඇතුළේ මෙහෙයුමක් - ප්‍රබලයෙක් හෙළිකරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
21

රාජපක්ෂලා දොට්ට දාන්න පොහොට්ටුව ඇතුළේ මෙහෙයුමක් - ප්‍රබලයෙක් හෙළිකරයි

රාජපක්ෂලා දොට්ට දාන්න පොහොට්ටුව ඇතුළේ මෙහෙයුමක් - ප්‍රබලයෙක් හෙළිකරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ රාජපක්ෂවරුන්ගේ පවුල් පාලනය ඉවත් කර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලක් පිළිබඳ විශාල කතාබහක් මේවන විට එම පක්ෂය තුළ ඇතිව තිබෙන බව වාර්තා වනවා.

 

ආණ්ඩු බලය ගත් පසු කළ වැරදි ක්‍රියාමාර්ග ගැන නැවත සොයා බලමින් එම වැරදි ක්‍රියාමාර්ග නැවත ඇති නොවන ලෙස වැඩකටයුතු සිදු කිරීමට මේවන විට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් කටයුතු කරමින් සිටිනවා.

 

ඒ අනුව පක්ෂය යළි ගොඩනගනවානම් පළමුවෙන්ම පක්ෂය ඇතුළේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කළ යුතු බවටත්, පක්ෂයට මධ්‍යම කාරක සභාවක් විධායක සභාවක් ඇති කළ යුතු බවටත්, අදහස් පළ කර ඇති අතර ඊට පක්ෂයද එකඟවී ඇති බවත් පක්ෂයට නිලධාරි මණ්ඩලයක් සකස් කිරීමට ද මේවන විට පක්ෂය එකඟ වී ඇති බවත් වාර්තා වනවා.

 

රාජපක්ෂ පවුලට ප්‍රමුඛස්ථානයක් නොදෙනු ඇතැයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් ජනතාව බලාපොරොත්තු වූ බවත් නමුත් එය සිදු නොවූ බව තමා පෞද්ගලිකව දන්නා බවත් ගෝඨාභය ජනාධිපතිතුමා ඒකට කැමැත්තක් නොදැක්වූ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලු‍ත්ගමගේ පැවසුවා.

 

නමුත් රාජපක්ෂලා විශාල පිරිසකට කැබිනට් ඇමතිකම් ලබා දුන් බවත් ඒවා වෙච්ච වැරදි තීරණ බවත් ඔහු පෙන්වා දෙනවා.

 

මේවන විට පක්ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට ඉදිරිපත් කර ඇති යෝජනා ගැන බැසිල් රාජපක්ෂත් එකඟවී ඇති බවත් එම සාකච්ඡාවලට බැසිල් රාජපක්ෂ සහභාගී වූ බවත් අලු‍ත්ගමගේ මන්ත්‍රීවරයා සඳහන් කළා.


“එතුමත් එකඟයි, ඒ සාකච්ඡාවලට එතුමත් ආවා. එහෙම නැතුව බෑ මෙහෙම දෙයක් නොකළොත් මේ පක්ෂයෙ ඉතිරි ටිකත් කැඩිලා යයි. මෙච්චර දෙයක් වෙලත් පක්ෂය තේරුම් ගන්නේ නැත්නම් තව තවත් පක්ෂය කැඩිලා යයි. මට තේරෙන හැටියට නම් මම නම් මේ මතය වෙනුවෙන් පක්ෂය තුළ ලොකු සටනක් කරනවා. නාවලපිටිය මගේ රැස්වීම මම කරන්නේ අපේ ක්‍රියාකාරීන් ගෙන්වල කතා හතරක් අහන්න සලස්වනවා. බන්දුල ගුණවර්ධන, රමේෂ් පතිරණ, කංචන විජේසේකර තමයි කතා කරන්නේ.

 

එක්කෙනෙක් කතා කරනවා රටේ ආර්ථිකය ගැන. ඊළඟ එක්කෙනා රටේ මන්ද පෝෂණය ආහාර හිඟයක් ඇතිවෙයිද කියලා කතා කරනවා. කංචන ඉන්ධන අර්බුදය ගැන කතා කරනවා’ අපි අලු‍ත් විදියකට යන්න ඕනෑ. අපි තේරුම් ගන්න ඕනෑ අපි අලු‍ත් විදියකට යා යුතුයි කියලා. පරණ විදියට ගියොත් අපට ජීවිතේට ආණ්ඩු හදන්න වෙන්නේ නෑ. ඒ නිසා පක්ෂයේ තරුණ අයට තනතුරු දෙන්න ඕනැ. අලු‍ත් මුහුණවරක් ගන්න ඕනෑ. මේ සිද්ධිවලින් පස්සෙ මහින්ද රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තු කණ්ඩායම බැසිල් රාජපක්ෂ ඇතුළු හැමෝම අපි හමු වුණා.

 

එතැනදි අපි කතා කරපු දේ තමයි මම ඔය කිව්වෙ බැසිල් රාජපක්ෂ මැතිතුමත් ඒක පිළිගත්තා රමේෂ් පතිරණ, කංචන විජේසේකර වගේ තරුණ අයට අපි පක්ෂයේ තැන දෙන්න ඕනෑ. නාමල් රාජපක්ෂ මැතිතුමා හොඳයි, තරුණයි. ඒ වගේම අනිත් අයටත් අපි තැන දෙන්න ඕනෑ. පක්ෂයට නව මුහුණුවරක් දීලා අලු‍ත් වැඩපිළිවෙළකින් අපි ඉදිරියට යන්න ඕනෑ” යැයි ඔහු වැඩිදුරටත් පැවසුවා.

views

255 Views

Comments

arrow-up