මිතුරාගේ නිවසට වාහනයෙන්ම යන්න මහජන මුදලින් තැනූ මිත්‍රත්ව පාලම
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
03

මිතුරාගේ නිවසට වාහනයෙන්ම යන්න මහජන මුදලින් තැනූ මිත්‍රත්ව පාලම

මිතුරාගේ නිවසට වාහනයෙන්ම යන්න මහජන මුදලින් තැනූ මිත්‍රත්ව පාලම

අම්පාර දිස්ත්‍රික්කයේ පැරණිගම W.27/A ග්‍රාම සේවා වසමට අයත් පවුල් 350- 400ක් පමණ ජීවත් වෙති. ගොවිතැන මූලික කරගත් මෙම ජනතාවගේ වගා බිම් අක්කර 350 කට වඩා පිහිටා ඇත්තේ මීගහපල්ලම ග්‍රාමයේය. මීගහපල්ලම ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු කරගෙන යාමේදී මීට වසර 40කට පෙර ඉදි වූ අබලන් පාලම ගිලා බැසීමට ආසන්න හෙයින් ට්‍රැක්‍ටර් හා අනෙකුත් යන්ත්‍ර හෝ වී පැටවීමට යන ලොරි රථද පාලමෙන් ගියේ අවදානමක්ද සමගිනි. මේ නිසා තම වගා බිම් වලට යාමට පාලමක් ඉක්මණින් ඉදිකොට දෙන ලෙස ගොවි පවුල් 150කට වඩා දේශපාලන බල අධිකාරියෙන් ඉල්ලීම්කර තිබුණි. ඒ මීට පෙර අවස්ථා ගණනකදීය.

 

පාලමේ අවශ්‍යතාව පිළිබඳව අම්පාර දමන ප්‍රාදේශීය කමිටුවේදී ද දැඩි අවධානයක් යොමු විය. එහිදී දමන ප්‍රාදේශීය සංවර්ධන කටයුතු ලයිස්තුගත කිරීමේදී මූලිකම සහ ප්‍රමුඛතම අවශ්‍යතාව ලෙස පෙන්නා මීගහපල්ලම පාලම ඉදිකිරීමට රුපියල් ලක්ෂ 100ක්ද වෙන්කොට එය කඩිනමින් ඉදිකිරීමට යෝජනා වී තිබූ බව මීගහපල්ලම ගොවි සංවිධානයේ සභාපති එම්.ජී. මුණිදාස කියා සිටියි. මෙම සංවර්ධන කමිටුවට දමන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා, ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා, සංවර්ධන නිලධාරිවරයා, කෘෂිකර්ම පර්යේෂණ නිලධාරි සහ සමෘද්ධි නිලධාරිවරයා මෙන්ම ගමේ සමිතිවල ප්‍රජා නායකයින්ද සිටි බව මීගහපල්ලම ගොවි සංවිධානයේ සභාපති මුණිදාස පවසයි.   

 


 මෙම පාලම ඉදිකිරීමේ මූලික සැලසුම ලෙස සංවර්ධන කමිටුවේදී පෙන්වා දුන්නේ ‘‘ජනතාවට සිය ආර්ථික බෝග හා නිෂ්පාදන නිසි ​ෙවලාවට වෙළෙඳපොළට රැගෙන යාමට හා දෛනිකව ප්‍රවාහන ගැටලු‍ වළක්වා ගනිමින් ඔවුන් නගා සිටුවීමේ අරමුණ ඇතිව”‍ මෙම පාලම ඉදිකරන බව කියාය. එහෙයින් පාලම සඳහා හදවත් යා කරන පාලම ලෙස නමක්ද යෝජනා වූ බව මීගහපල්ලම ගොවි සංවිධානයේ ලේකම් ඒ.ජී. කීර්තිරත්න පවසයි.   

 


කෙසේ වෙතත් ගොවි ජනතාවට සහ ග්‍රාමීය සංවර්ධන කමිටුවේ යෝජනාවට පයින් ගසා ගොවි ජනතාවට කිසිසේත්ම ප්‍රයෝජනයක් නැති තැනක් වූ RB-17 ඇළ මාර්ගය හරස්කොට හිඟුරාණ පැරණිගම දකුණ 3 වැනි මාවත සම්බන්ධ කරමින් පාලම ඉදිකිරීම අරඹා ඇති බවත් ඒ සඳහා රුපියල් ලක්ෂ 66ක් පමණ යන බව දැනගන්නට ඇතැයිද මීගහපල්ලම ගොවි සංවිධානයේ ලේකම් පෙන්වා දෙයි. තම වගා බිම්වලට යාමට ඉදිකිරීමට නියමිතව තිබූ පාලම RB 17 ඇළ හරස් කරමින් ඉදි කෙරෙන්නේ අම්පාර දිස්ත්‍රික්කයෙන් වියත් මග හරහා මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්ෂ මූලික වීමෙන් බවද මීගහපල්ලම ගොවි සංවිධානයේ ලේකම් කියා සිටියි.   

 


අම්පාර - කොළඹ ප්‍රධාන පාරේ වළේ කඩේ පැරණිගම හන්දියට ආසන්නයෙන් පිහිටා ඇති 3 වන මාවතේ සිට පාලම ඉදිකෙරෙන RB17 ඇළ ළඟට ඇත්තේ මීටර 160ක් පමණ දුරකි. එසේ නම් මහජන මුදල් රුපියල් ලක්ෂ 66ක් වියදම් කොට පාලමක් ඉදි කිරීමේ අවශ්‍යතාව කුමක්ද යන්න පැහැදිලි නැති බව මීගහපල්ලම සංවර්ධන කමිටුවේ ලේකම් රෝහණ කුමාර පවසයි. දඹන සියඹලාණ්ඩුව ප්‍රධාන පාරේ සිට එන තුන්වැනි මාවත අඩි 14ක් පමණ පළල බවත් එහි දිග මිටර 160න් මීටර 100ක් අඩි 9 පළලට කොන්ක්‍රීට් දමා ඇති බවද රෝහණ කුමාර පෙන්වා දෙයි. එම පාරෙන් ඍජුවම ප්‍රයෝජනය ගත හැකිව තිබියදී එම පාර ඉතිරි කොටස සංවර්ධනය කොට ප්‍රයෝජනය ගන්නවා වෙනුවට භුආතීන් වන පවුල් 8ක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 66ක් වියදම් කොට අදාළ නැති තැනකට පාලමක් තම හිතවතෙකුට පමණක් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්ෂ ඉදිකරන්නේ කුමන අරමුණක් ඇතිවද යන්න නොදන්නා බව රෝහණ කුමාර පෙන්වා දෙයි.

 


පවුල් 8කට යන්න ලක්ෂ 66ක් වියදම් කොට පාලමක් හදන්නේ නැතිව මීටර 160 දිග පාර හැදුවා නම් සුදුසු නැද්ද කියා අපි මන්ත්‍රීවරයාගෙන් විමසා සිටියෙමු. එහිදී මන්ත්‍රීවරයා පවසන්නේ පාලම ඉදි කළේ ඒ වේලාවේ ඒ අයට බලපා තිබූ ගැටලු‍ පදනම් කරගෙන බවය. මම ඒ පාලම පෞද්ගලික වුවමනාව මත කළ දෙයක් නොවන බවද මන්ත්‍රීවරයා පවසයි. පාලම්වල ප්‍රමිතිය සහ වියදම ගැන තීන්දු කරන්නේ මාර්ග සංවර්ධන අධිකාරිය බව ද මන්ත්‍රීවරයා කියා සිටියි. මම එතැනට ගියාම පෙන්නුවේ 3 වන මාවත පවුල් 8 අයට පාවිච්චි කරන්න දෙන්නේ නෑ කියලා. මෙයාලාගේ වාහනය ගන්න බෑ. ඒ නිසා තමයි පාලම දාලා දුන්නේ. මගෙන් පාලම ඉල්ලු‍වේ පවුල් අටක් එයාලට පාලම දුන්නා යැයි මන්ත්‍රීවරයා කීය.

views

982 Views

Comments

arrow-up