“ලංකාවෙ ඉඳලා වැඩක් නෑ තාත්තේ කියූ මගේ රත්තරං පුතා යළි නොඑන ගමන් ගියා” - පිරවුම් හල් පෝලිමේ අනතුර

විදෙස් ගමන් බලපත්‍රය සාදා ගැනීම සඳහා වව්නියාවේ පිහිටි ආගමන විගමන කාර්යාලයට යන අතරවාරයේදී තම යතුරුපැදියට පෙට්‍රල් ලබා ගැනීමට ගොස් ඉන්ධන පිරවුම් හලක පෝලිමක රැඳී සිටි තරුණයෙකු ඊයේ(24) අලුයම ගල්අඟුරු ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයකට යට වී ජීවිතක්ෂයට පත්ව ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ තලාකොළවැව, කිරලෝගම, තඹුත්තේගම ලිපිනයේ පදිංචිව සිටි එම්. බී රවිෂාන් මධුරංග නමැති 19 හැවිරිදි තරුණයෙකි.
පුත්තලම -අනුරාධපුර ඒ 12 මාර්ගයේ පණ්ඩුලගම ඔර්ලෝසු කණුව ආසන්නයේදී පණ්ඩුලගම ඉන්ධන පිරවුම්හලේ පෙට්‍රල් පෝලිමේදී මෙම අනතුර සිදුව තිබේ.
තරුණයාගේ යතුරුපැදියේ හැඬලය. කන්ටේනර් රථයේ බඳ කොටසේ ගැටී මාර්ගයට ඇද වැටී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.
ඉකුත් 23 වනදා රාත්‍රියේ නිවසින් පිටත්ව වවුනියාවට යෑමට අවශ්‍ය කරන පෙට්‍රල් ලබා ගැනීම සඳහා ගොස් ඉන්ධනහලේ පෝලිමේ රැඳී සිට ඇති බව අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් හැඬූ කඳුලින් අදහස් දැක්වූ මියගිය තරුණයාගේ පියා වන නිමල් බණ්ඩාර මහතා,
“මේ රටේ ජීවත් වෙලා වැඩක් නෑ තාත්තේ, අපිට අනාගතයක් නෑ.
තවත් මේ රටේ ජීවත් වුණොත් බඩගින්නෙ මැරෙන්න වෙන්නේ, කියලා ගෙදරින් පිට වෙච්ච මගේ රත්තරං පුතා මට නැතිවෙලා මහත්තයෝ.
මගේ පුතා ආයේ නොඑන්න යන්නම ගියා.”
අනතුරින් බරපතළ තුවාල ලැබූ එම තරුණයා ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙසේ මරුමුවට පත්ව ඇත.
මෙම අනතුර සම්බන්ධයෙන් රථයේ රියැදුරා අනුරාධපුර පොලිසියේ රථවාහන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
306 Views
Comments