අවුකන වන්දනාවේ පැමිණි පිරිසගේ වෑන් රථය සොරකම් කළ සැකකරුවන් අත්අඩංගුවට

අවුකන විහාරස්ථානය අසල රථ ගාලේ නවතා තිබූ වන්දනාකරුවන් පිරිසක් පැමිණි රුපියල් ලක්ෂ 50ක පමණ වටිනාකමකින් යුත් වෑන් රථයක් පසුගිය 21 වන දින සවස කිසියම් පිරිසක් සොරකම් කරගෙන ගොස් තිබුණි.
කෙසේ නමුත් සොරකම සිදු වී පැය 72ක් ගතවීමටත් පෙර එම වෑන් රථය සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ගල්නෑව පොලිසිය ඊයේ (23) සමත් විය.
මෙම වෑන් රථය ගලේවෙල නබඩගහවත්ත ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබිය දී පොලිසිය විසින් සොයා ගැනීමට සමත් වූ අතර වෑන් රථයේ පැමිණි වන්දනාකරුවන්ගේ දේපල රැසක් ද මෙහි දී පොලිසිය සොයා ගෙන තිබුණි.
මෙම වෑන් රථ සොරකම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ගලේවෙල, නබඩගහවත්ත හා කුරුණෑගල රිදීගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26, 27 හා 30 යන වයසේ පසුවන පුද්ගලයන් තිදෙනෙකි.
207 Views
Comments