ඔන්ලයින් අධ්‍යාපනය 60% කින් අසාර්ථකයි - ගුරු සංගම්වලින් චෝදනා

කොරෝනා වසංගතය සමඟ මෙරට ක්‍රියාත්මක වන මාර්ගගත හෙවත් ඔන්ලයින් අධ්‍යාපනය 60% කින් අසාර්ථක බව ලංකා ගුරු සංගමය පෙන්වා දෙනවා. ඔවුන් පවසන්නේ රජය මගින් ඉදිරිපත් කර ඇති මාර්ගඋපදේශ මගින් ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමවේදයේ පවතින ප්‍රායෝගික ගැටළු නිරාකරණය සඳහා විසඳුම් ලබා දී නොමැති බවයි.
මේ අතර බිබිල ලුණුගල ප්‍රදේශයට අන්තර්ජාල සංඥා නොමැති වීමෙන් පාසල් දරුවන් ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනය ලබා ගැනීමේ දුෂ්කරතා රැසක් පවතින බව ප්‍රදේශවාසීන් පවසනවා. අන්තර්ජාල සංඥා ලබා ගැනීම සඳහා දරුවන්ට උස් බිම් වල පිහිටි කැලෑබද ප්‍රදේශවලට යාමට හෝ ගස් මත නැගීමට පවා සිදුව ඇති බවයි ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ අධ්‍යයන කටයුතුවල නිරත වන රටේ සියලුම දරුවන්ට අන්තර්ජාල සේවා ගාස්තුවකින් තොරව e තක්සලාව හරහා නොමිලේ අධ්‍යාපන වරම් ලබා දීමේ ව්‍යාපෘතිය කඩිනම් කරන ලෙසට තරුණ හා ක්‍රීඩා කටයුතු, ඩිජිටල් තාක්ෂණය හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
e තක්සලාව ක්‍රමවේදයේ දැනට පවතින දුෂ්කරතා අවම කර ගනිමින් වඩාත් සුදුසු ක්‍රමවේදයක් හඳුන්වා දීම සඳහා අරලියගහ මන්දිරයේ දී පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ.
2021 ජූලි 21 වන දින වන විට එහි මුල් අදියර ලෙස පාසල් 200 සිසුන්ට අන්තර්ජාල සේවා ගාස්තුවකින් තොරව මාර්ගගත පන්ති e තක්සලාව හරහා ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගන්නැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙහිදී අදාළ බලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා. අධ්‍යාපනය සඳහාම වෙන්වූ රූපවාහිනි නාළිකාවක් සහ ගුවන් විදුලි සේවාවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
එවැනි රූපවාහිනී හා ගුවන්විදුලි සේවාවක් සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්ව විද්‍යාල සහ උසස් තත්ත්වය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය දැනටමත් සංඛ්‍යාත ලබාගෙන ඇති බවද මෙහිදී අනාවරණය වුණා.
ඒ අනුව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ස්වාධීන රූපවාහිනී සේවය සහ ගුවන් විදුලි සංස්ථාව යන ආයතනයන්හි දැනටමත් පවතින යටිතල පහසුකම් භාවිතා කරමින් අදාල සේවාවන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත පවසා ඇත්තේ. මීට අමතරව සන්නිවේදන කුළුණු අලුතින් ඉදි කිරීම ඇතුළු දිගුකාලීන පියවර වලට යොමුවන ලෙසත් අමාත්‍යවරයා බලධාරීන්ට දැනුම් දී තිබෙනවා.
1586 Views
Comments