තෙල් පෝලිම් මැද ගිනි ඇවිළෙයි - ගැටුම්වලින් පොලිසියට හමුදාවටත් තුවාල
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
20

තෙල් පෝලිම් මැද ගිනි ඇවිළෙයි - ගැටුම්වලින් පොලිසියට හමුදාවටත් තුවාල

තෙල් පෝලිම් මැද ගිනි ඇවිළෙයි - ගැටුම්වලින් පොලිසියට හමුදාවටත් තුවාල

දිනෙන් දින ඉන්ධන අර්බුදය උග්‍රවන විට ප්‍රදේශ රැසක ඉන්ධනහල් ආශ්‍රිතව ගැටුම්කාරී හා උණුසුම්කාරී තත්ත්වයන් රැසක් ඊයේ(19) වන විට වාර්තා වී තිබිණි.

 

මුලතිව්, මාරවිල, හිඟු‍රක්ගොඩ, මාවනැල්ල, අතුරුගිරිය, හැටන් ඇතුළු ප්‍රදේශ රැසකින් මෙම සිද්ධීන් වාර්තා වූ අතර ඇතැම් සිද්ධිවලදී මහජනතාව මෙන්ම පොලිස් සහ හමුදා නිලධාරීන්ද තුවාල ලබා තිබේ. 

 

ඇතැම් කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් පුද්ගලයින් කිහිපදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.


ඉන්ධනහල් ආසන්නයේ කලහකාරී සිද්ධීන් වාර්තාවීම හේතුවෙන් අවම බලය පාවිච්චි කරන ලෙස මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් පොලිසියට උපදෙස්දී තිබේ. 

 

පිරවුම්හල් ආශ්‍රිත සිදුවීම් හමුවේ නීතිය හා සාමය ආරක්‍ෂා කර ගැනීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති අතර අවශ්‍ය වුවහොත් පොලිසියට අමතරව යුද හමුදා සහායද ලබා ගැනීමට අමාත්‍යාංශය තීරණය කර ඇත.

 

කෙසේ වුවත් සාමකාමී විරෝධතාවලට එරෙහිව කිසිදු ක්‍රියා මාර්ගයක් නොගන්නා ලෙසටද අමාත්‍යාංශය උපදෙස්දී තිබේ.

 

මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් ආශ්‍රිතව පෙරේදා(18) රාත්‍රී ඇතිවූ නොසන්සුන්කාරී සිද්ධිය ගැටුමක් දක්වා වර්ධනයවී යුද හමුදා සෙබලුන් තිදෙනෙකු තුවාල ලබා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබේ. 

 

සිද්ධිය පාලනය කිරීමට හමුදාව අහසට වෙඩි තබා ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පැවසීය. 

 

මෙහිදී සැකකරුවන් දෙදෙනෙකු සමඟ ත්‍රිරෝද රථයක් හා යතුරුපැදි 10ක්ද පොලිස් භාරයට ගෙන ඇත.


හිඟු‍රක්ගොඩ සහ හැටන් ප්‍රදේශවල ඉන්ධනහල් දෙකකින් ඉන්ධන ලබාගැනීමට ගිය රාජ්‍ය සේවකයින් පිරිසක් හා මහජනතාව අතර නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවී ඇතත් එය ගැටුමක් දක්වා වර්ධනය වීමට නොදී පොලිසිය මැදිහත්වී පිරිස් විසුරුවා හැර තිබේ.

 

අතුරුගිරිය නගරයේ ඉන්ධන පිරවුම්හලකට පසුගිය 17 වැනිදා රාත්‍රියේ ඉන්ධන ලබාගැනීමට පැමිණි පිරිසක් හා පොලිස් නිලධාරීන් අතර ඇතිවූ ගැටුමෙන් පොලිස් නිලධාරීන් 06 දෙනෙකු තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කර ඇත.


සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉන් 07 දෙනෙකු අද(20) දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකර ඇත. 

 

ඇපමත මුදාහැර ඇත්තේ කාන්තාවක හා පිරිමි පුද්ගලයෙකි.

 

මේ අතර වවුනියාව නගරයේ ඉන්ධන පිරවුම් හලකින් ඉන්ධන ඉල්ලා ජනතාව ඊයේ (19 දා) යාපනය - මහනුවර ඒ 09 මාර්ගය අවහිර කරමින් විරෝධතාවක් ආරම්භ කර තිබූ අතර එය පැය කිහිපයක් පුරා පැවතීම නිසා මාර්ගයේ ගමන් කිරීමට පැමිණි වාහන හිමියෝ අපහසුතාවට පත්වූහ.

 

මේ අතර ඉන්ධනහල් අසල රාජකාරියේ යෙදෙන පොලිස් නිලධාරීන්ගේ අකටයුතුකම් උසස් පොලිස් නිලධාරීන්ට පැමිණිලි කරන ලෙස මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස්  මහජනතාවගෙන් ඉල්ලයි.


මෙවැනි සිද්ධීන් වාර්තා වුවද ඊයේද ඉන්ධන ලබාගැනීමට පිරවුම්හල් අසල කිලෝමීටර් ගණන් දිග පෝලිම් තිබෙනු දක්නට ලැබිණි.

views

261 Views

Comments

arrow-up