“සී අයි ඩීය මගේ වරප්‍රසාද කඩකරලා” - පාඨලී චම්පික
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
21

“සී අයි ඩීය මගේ වරප්‍රසාද කඩකරලා” - පාඨලී චම්පික

“සී අයි ඩීය මගේ වරප්‍රසාද කඩකරලා” - පාඨලී චම්පික

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 2018 - 2019 අතර කාලයේදී තමාගේ දුරකතන ඇමතුම්වලට රහසිගතව සවන්දී ඇති බවත් මහේස්ත්‍රාත්වරයකුගේ අවසරයකින් තොරව එලෙස කටයුතු කිරීම හේතුවෙන් තමාගේ පෞද්ගලික අයිතිය මෙන්ම පාර්ලිමේන්තු වරප්‍රසාදද උල්ලංඝණයවී ඇති බවත් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී  අද(21) සඳහන් කර සිටියේය.

 

කතානායකවරයාගේ අවසරය ඇතිව වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් ඔහු මෙසේ පැවසුවේය.

 

දුරකථන සංවාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දීම හේතුවෙන් දුරකථන සේවා සැපයුම්කරුවන්ද තමාගේ වරප්‍රසාද කඩ කර ඇති බව පැවසූ ඒ මහතා තමාගේ වරප්‍රසාද කඩ කළ  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් සහ දුරකථන සේවා සැපයුම්කරුවන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව හමුවට කැඳවා මූලික පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා සිටියේය.

 

එය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දඩුවම් කළ හැකි වරදක් බවද ඔහු පැවසුවේය.

 

එමෙන්ම මේ සම්බන්ධව නීතිපතිවරයාගෙන් වාර්තාවක් කැඳවා එම වාර්තාව මැතිසබයට ඉදිරිපත්  කරන ලෙසත් කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවද චම්පික රණවක මහතා කියා සිටියේය.

 

නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සිදුවී ඇතැයි කියන වංචාවක් සම්බන්ධව තොරතුරු විමසීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම්දෙමින් තමාට නොතීසියක් එවා තිබූ බවත් ඒ අනුව තමා පසුගිය සැප්තැම්බර් 24 වනදා එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.

 

තමාගේ දුරකතන සංවාදවලට සවන්දී ඇතැයි එහිදී කෙරුණු කරුණු විමසීම්වලදී තමාට වැටහී ගිය බවද ඔහු සඳහන් කළේය.

views

704 Views

Comments

arrow-up