දක්ෂිණ අධිවේගයේදී ගිනිගෙන විනාශවුණු වෑන් රථය

දක්ෂිණ අධිවේගී මාර්ගයේදී වෑන් රථයක් කොට්ටාව කිලෝමීටර් 3 කණුව අසල දී හදිසියේ ගිනි ගැනීමට ලක්ව සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය පවසයි.
ගමන් කරමින් තිබූ වෑන් රථය මෙලෙස ගිනිගැනීමට ලක්ව තිබූ අතර ඒ සමඟම රියැදුරු වෑන් රථයෙන් පිටතට පැන දිවි බේරාගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.
කොට්ටාව සිට ගැලණිගම දෙසට පැමිණෙමින් තිබූ වෑන් රථයේ ඉදිරිපසින් දුමාරයක් හටගෙන එකවරම ගින්න හටගත් බව රියැදුරු පවසා තිබේ.
ගින්න හට ගන්නා අවස්ථාවේදී වෑන් රථයේ රියැදුරු පමණක් සිට ඇති අතර කලබල වූ ඔහු වෑන් රථයෙන් බිමට පනින අවස්ථාවේ සාක්කුවේ තිබූ මුදල් පසුම්බියද වෑන් රථය තුළ වැටීමෙන් ගින්නට හසුවී සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ගින්න මැඩ පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.
විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හට ගන්නට ඇති බවට පොලිසිය සැකපළ කරයි.
858 Views
Comments