ගොවිතැනේ නව තාක්ෂණය ගමට ගෙන යන රජයේ වැඩපිළිවෙළ

නවීන තාක්ෂණික උපකරණ ගොවි ජනතාවට හඳුන්වා දීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ගොවි ජනතාවගේ නිෂ්පාදන වියදම් අවම කිරීම සඳහා ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 418කි.
දිස්ත්‍රික්ක තුනක බඩ ඉරිඟු වගා කරන ගොවීන් 5000කට අදාල වගා කටයුතුවල දී උපකාරී වන බහුකාර්ය වල්පැළ නෙලීමේ යන්ත්‍ර Multifunction Weeder නොමිලයේ ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විදේශ අරමුදල් යටතේ ක්‍රියාත්මක කුඩාපරිමාණ කෘෂිව්‍යාපාරික සහභාගිත්ව වැඩ සටහන - SAPP මගින් පියවර ගෙන ඇත.
බඩ ඉරිඟු වගාවේ දී වල් පැළ ඉවත් කිරීම, වතුර පොම්ප කිරීම, හා පස පෙරළීම වැනි කටයුතුවල දී වියදම් අවම කිරීම සඳහා මෙම බහුකාර්ය යන්ත්‍ර පිරිනමනු ලබන අතර පොලොන්නරුව, මොණරාගල හා බදුල්ල දිස්ත්‍රික්කවල බඩඉරිඟු වගා කරන ගොවීන් 5000කට මෙම උපකරණ පිරිනැමීමට කටයුතු යොදා තිබේ.
අද (08) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී මෙම බහුකාර්ය උපකරණ ගොවි මහතුන්ට සංකේතාත්මකව පිරිනැමීම සිදු කෙරුණි.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, ග්‍රාමීය කටයුතු රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ හා SAPP ව්‍යාපෘතියේ අධ්‍යක්ෂිකා ආචාර්ය යසන්තා මාපටුන යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගි විය.
මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ, ගොවි ජනතාවගේ නිෂ්පාදන වියදම් අවම කිරීම සඳහා නවීන තාක්ෂණික උපකරණ ගොවි ජනතාවට හඳුන්වා දීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කර ඇති බවයි.
එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගොවි ජනතාවගේ පහසුකම් නැංවීම සඳහා ඉදිරිපත් කළ සියලු අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවලට අනුමැතිය ලබා දුන් බවත්, 2023 වසරේ මෙරට කෘෂිකර්මාන්තය නඟා සිටුවීම සඳහා විශාල මුදල් වෙන් කර ඇති බව ද ඔහු සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා කියා සිටියේ,
"මෙම වසරේ දී අපි සහලින් ස්වයංපෝෂිත තත්ත්වයට ළඟාවෙනවා. නැවත මෙරටට සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම කව්පි, මුං ඇට, තල, කුරක්කන්, උඳු හා රටකජු වැනි බෝග රැසකින් අපිට ස්වයංපෝෂිත වීමට හැකියි. ඒ වගේම අපිට අවශ්‍ය මිරිස්වලින් සියයට 25ක් අපි මෙම වර්ෂයේ අපේ රටේම නිපදවනවා. ඒ සඳහා දැනටමත් අවශ්‍ය පියවර ගෙන තිබෙනවා " යනුවෙනි.
249 Views
Comments