ජෙනරේටරය පිපිරී දෙදරු මව සහ දියණිය අවසන් ගමන් යයි - කැප්පෙටිපොළ කුරුළු කූඩුව සුනු විසුණු කල කඳුළු කතාව
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
20

ජෙනරේටරය පිපිරී දෙදරු මව සහ දියණිය අවසන් ගමන් යයි - කැප්පෙටිපොළ කුරුළු කූඩුව සුනු විසුණු කල කඳුළු කතාව

ජෙනරේටරය පිපිරී දෙදරු මව සහ දියණිය අවසන් ගමන් යයි - කැප්පෙටිපොළ කුරුළු කූඩුව සුනු විසුණු කල කඳුළු කතාව

සතුටින් සිටින පවුලක් හරියට කුරු`එ කූඩුවක් වැනිය යන්න ග්‍රාමීය ව්‍යවහාරයේ පවතින කියමනකි. එවන් සතුටින් සිටි පවුලකට අත්වූ ඛේදනීය ඉරණමක් පිළිබඳව අපට වැලිමඩ, කැප්පෙටිපොළ ප්‍රදේශයෙන් වාර්තා විය.



විදුලි කප්පාදුව සිදුකර තිබූ අවස්ථාවක නිවසට විදුලිය ලබා ගැනීම සඳහා සවිකර තිබූ විදුලි ජනන යන්ත්‍රය (ජෙනරේටරය) පසුගිය මාර්තු 29 දා පුපුරා යෑම නිසා සිදුවූ මෙම අවාසනාවන්ත සිදුවීමෙන් ප්‍රදේශයම කම්පා විණි.

 

දෙදරු මවකගේ සහ මල් කැකුළක් බඳු වූ දියණියකගේ ජිවිත රටට අහිමි විය. මෙම අවාසනාවන්ත සිදුවීමෙන් කැප්පෙටිපොළ ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි දෙදරු මවක් වන වසන්ති හේමමාලි මහත්මියට සහ ඇගේ දියණිය වූ නව හැවිරිදි ගවේෂා හසිනි රත්නායකට සිය දිවි ගමන නිමා කිරීමට සිදුවිය.



මෙම පවුලේ ගෘහ මූලිකයා වන මධුර ප්‍රියන්ත මහතා කැප්පෙටිපොල විශේෂීත ආර්ථීක මධ්‍යස්ථානයේ එළවළු ව්‍යාපාරිකයෙකි. ඔහුගේ බිරිඳ වූ වසන්ති හේමමාලි මහත්මිය කැප්පෙටිපොළ ප්‍රාදේශීය සභා උප කාර්යාලයේ ලිපිකාරිනියක ලෙස සේවය කළේය.

 

වයස අවුරුදු 09 ක දියණියක් හා අවුරුදු 05 ක පිරිමි දරුවෙක් සිටි මෙම සොඳුරු කැදැල්ල කාගේත් සිත් දිනා ගනිමින් කැප්පෙටිපොළ නගරාසන්නයේ නිවසක දිවි ගෙවූහ. ඉකුත්දා විදුලිය විසන්ධි කර තිබූ අවස්ථාවේ මෙම පවුල පදිංචිව සිටි කැප්පෙටිපොළ නිවසට විදුලිය ලබා ගැනීමට විදුලි ජනන යන්ත්‍රයක් නිවසේ කාමරයක් තුළ සවිකර තිබී ඇති අතර එය එක්වරම ක්‍රියා විරහිත වී ඇත.

 

ඒ අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ මව සහ දරුවන් දෙදෙනා පමණි. ජෙනරේටරය එසේ ක්‍රියා විරහිත වූයේ ඇයි දැයි විපරම් කිරීමට නිවසේ සිටි වසන්ති හේමමාලි විදුලි ජනන යන්ත්‍රය අසලට ගොස් ඇති අතර දරුවන් දෙදෙනාද ඇය පසු පසින් ගොස් තිබේ.

 

එහිදී නොසිතූ ලෙසින් ජෙනරේටරය පුපුරා ගොස් තිබේ. පිපිරීමත් සමග ඒ අසල විශාල ගින්නක් ඇතිව තිබෙන අතර වසන්ති සහ දරු දෙදෙනාද මේ ගින්නට හසුව තිබේ. ඔවුන්ගේ කෑගැහිල්ලට හා ජෙනරේටරය පිපිරුණු ශබ්දය ඇසුණු අසල්වැසියන් පැමිණ ගින්නට හසුව සිටි වසන්ති සහ දරුවන් දෙදෙනා මහත් පරිශ්‍රමයක් දරා බේරා ගෙන වැලිමඩ මූලික රෝහලට ඇතුලත් කර තිබේ.



රෝගීන්ගේ තත්ත්වය බරපතළ වූ හෙයින් ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහලට මාරුකර තිබේ. දැඩි පිළිස්සුම් තුවාල ලබා සිටි දියණිය සහ පිරිමි දරුවා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට මාරුකර යැවීමට කටයුතු කර තිබිණ.



කෙසේ වෙතත් කොළඹ ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ගවේෂා හසිනි රත්නායක දියණීය ඉකුත් 15 දා අලුයම මෙලොව හැරගිය බවට වූ සංවේදී ආරංචිය පවුලේ අයට දැන ගන්නට ලැබෙන්නේ කාගේත් සිත් කම්පා කරමින්ය.

 

පවුලේ ඥාතීන් දියණියගේ දේහය ගෙන ඒමට කොළඹ බලා පිටත් වූයේ 15 වන දින උදේය. මඳ දුරක් යන විට නැවත දුරකථන පණිවිඩයක් ලැබෙන්නේ බදුල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වසන්ති හේමමාලි මහත්මියද මියගිය බවයි.



තම දියණිය මියගිය බව මනෝමයෙන් වසන්ති හේමමාලිට දැනී ඒ දුක දරා ගැනීමට නොහැකිව ඇයද මෙලොව හැරගියා විය හැකිය යන්න කාගේත් කතා බවට ලක්විය. මේ වනවිටත් 05 හැවිරිදි පිරිමි දරුවා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර කාගේත් ප්‍රාර්ථනය වී ඇත්තේ ඔවුන්ට ඉක්මනින් සුවය ලැබේවා යන්නය.



ඉතා සතුටින් සිටි පවුලක සතුට සැනසුම නැති වන්නට ගතවූයේ නිමේෂයකි. සියලු දෙනාගේ සිත් හඬවමින් වසන්ති හේමමාලිත්, පුංචි මල් කැකුළිය ගවේෂා හසිනි රත්නායකගේත් අවසන් කටයුතු ඊයේ (17 දා) කැප්පෙටිපොළ ප්‍රදේශයේ දී සිදු කෙරිණ.

views

771 Views

Comments

arrow-up