රම්බොඩ ඇල්ලේ දිය නෑමට ගොස් අතුරුදහන් වූ පිරිසක් සොයා මෙහෙයුම්

කොත්මලේ ප්‍රදේශයේ රම්බොඩ ඇල්ලේ දිය නාමින් සිටි පිරිසක් අතරින් තිදෙනෙකු සැඩ පහරට ගසාගෙන ගොස් අතුරුදහන් වී ඇති බව පොලිසිය පවසයි.
පොලිසිය සඳහන් කළේ, ඊයේ (12) සවස් කාලයේදී වව්නියාව ප්‍රදේශයේ පුද්ගලික ඇඟළුම් කම්හලක සේවකයින් පිරිසක් නුවරඑළිය ප්‍රදේශයේ විනෝද චාරිකාවක් සඳහා පැමිණ රම්බොඩ ඇල්ලේ දිය නෑමට ගොස් සිටියදී අධික වර්ෂාව හේතුවෙන් ඇල්ලේ ජලය වැඩිවී කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයෙකු මෙලෙස සැඩ පහරට හසු වී ගසාගෙන ගොස් ඇති බවය.
අතුරුදහන්ව ඇති පුද්ගලයින් වයස අවුරුදු 21, 22, සහ 19 යන වයස් වල පසුවන වව්වනියාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර කොත්මලේ පොලිසිය ප්‍රදේශවාසින් හා එක්ව ඔවුන් සොයා මෙහෙයුම් සිදු කරන බව පොලිසිය පැවසීය.
මේ අතර, ඊයේ දිනයේදී බදුල්ල ප්‍රදේශයේ බදුලු ඔයේ සැඩ පහරට හසුවීමෙන් වයස අවුරුදු 59ක පුද්ගලයෙකු අතුරුදහන් වී ඇති බව පොලිසිය සඳහන් කළේය.
ඔහු මත් පැන් පානය කර සිට ඇති අතර දියේ ගසා ගෙන ආ පොල් ගෙඩියක් අහුලා ගන්නට යාමෙන් දිය පහරට හසුව ඇති බව පොලිසිය පැවසීය.
බදුල්ල පොලිසිය ප්‍රදේශවාසීන් සමග එම පුද්ගලයා සොයා විමර්ශන ආරම්භ කර තිබේ.
තවද ගාල්ල කොටුව අසල මුහුදු තීරයේ දිය නාමින් සිටි බද්දේගම ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙකු දියේ ගිලෙමින් සිටියදී බේරාගෙන බරපතළ තත්ත්වයේ පසුවීම හේතුවෙන් කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති බව ගාල්ල පොලිසිය පැවසීය.
696 Views
Comments