සිපෙට්කෝවට ඩොලර් අහිමි කරමින් ගුවන් යානාවලට තෙල් සැපයීම ප්‍රබල දේශපාලකයෙකුගේ පුතෙකුට

ප්‍රබල දේශපාලනඥයෙකුගේ පුත්‍රයෙකුට අයත් බව කියන මෙරට පෞද්ගලික සමාගමක් මගින් ආනයනය කරනු ලැබූ ගුවන් යානා ඉන්ධන තොගයක් ඉතිහාසයේ පළමු වතාවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හරහා අලෙවි කිරීම මේවන විට ආරම්භ වී ඇතැයි සංස්ථා සේවකයෝ පවසති.
එම තත්ත්වයත් සමඟ ඛනිජ තෙල් සංස්ථාවට විශාල ඩොලර් ආදායමක් හිමිවූ ගුවන් යානා සඳහා ඉන්ධන ලබාදීමේ අවස්ථාව අහිමිවී ඇතැයිද ඔවුහු කියති.
මෙටි්‍රක් ටොන් හතළිස් දහසකින් යුතු එම ඉන්ධන තොගය රැගත් නෞකාව කොළඹ වරායට ළඟා වීමෙන් අනතුරුව ඛනිජ තෙල් සංස්ථාවේ කොලොන්නාව තොග පර්යන්තය වෙත පොම්ප කර ඇති අතර එම ඉන්ධන දුම්රිය මගින් කටුනායක ගුවන්තොටුපළේ ගබඩා වෙත යැවීමට සංස්ථා බලධාරීන් පියවර ගෙන තිබේ.
එලෙස ලැබුණු ඉන්ධන තොග කටුනායක ගුවන්තොටුපළේ පිහිටි ඛනිජ තෙල් සංස්ථාවට අයත් ගුවන් යානා සඳහා ඉන්ධන ලබාදීමේ ඒකකය මගින් පසුගිය සතියේ සිටි ගුවන් යානා වෙත අලෙවි කිරීම සිදුකර ඇත.
මෙහිදී ගුවන් යානා සඳහා ඉන්ධන අලෙවියෙන් ලැබෙන ඩොලර් ආදායම ඉන්ධන ආනයනය කළ සමාගමට ලැබෙන අතර එම සමාගම මගින් මෙහෙයුම් කටයුතු වෙනුවෙන් ඛනිජ තෙල් සංස්ථාවට රුපියල්වලින් ගෙවීම් කිරීමට නියමිත බවද සංස්ථා සේවකයෝ වැඩිදුරටත් පවසති.
සපුගස්කන්ද පිරිපහදුවෙන් සහ ආනයනය කිරීමෙන් ලබා ගන්නා ලද ගුවන් යානා ඉන්ධන ගුවන් යානා වෙත ලබාදීම මෙතෙක් කලක් ඛනිජ තෙල් සංස්ථාව මගින් සිදු කරනු ලැබූ අතර එහිදී විශාල ඩොලර් ආදායමක් ලබා ගැනීමට සංස්ථාවට හැකි විය.
රටේ ඇතිවූ විදේශ විනිමය අර්බුදයත් සමඟ ගුවන් යානා ඉන්ධන ආනයනය කිරීම ඛනිජ තෙල් සංස්ථාව මගින් පසුගිය කාලයේ නවතා දමනු ලැබූ අතර පෞද්ගලික සමාගමක් මගින් මෙලෙස ගුවන් යානා ඉන්ධන තොගයක් ආනයනය කර සංස්ථාව හරහා අලෙවි කිරීම සිදුකර ඇත්තේ ඒ අනුවයි.
උපුටා ගැනීම - දිවයින
306 Views
Comments