එස්.අයි.ගේ මුදල් පසුම්බියට විද්ද හොරා කුඩු සමඟ මාට්ටු

පානදුර පින්වත්ත පොලිසියට අනියුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ රුපියල් 81000ක මුදල් පසුම්බිය සොරාගත් පුද්ගලයා දින 04ක් ඇතුළත වල්ගම සුසාන භූමිය අසලදී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය පවසයි.
සැකකරු සතුව තිබී හෙරයින් ග්‍රෑම් දෙකයි මිලි ග්‍රෑම් දෙසීයක් සහ සොරා ගත් මුදලින් රුපියල් තිස් එක් දහසක් සොරා ගත් මුදල් පසුම්බිය මෙන්ම සොරකම සඳහා යොදාගත් පාපැදියද සොයා ගෙන තිබේ.
එම උප පොලිස් පරීක්ෂකවරයා රැකියාව නිමවා නිවසට යමින් සිටියදී නිවසේ අවශ්‍යතාවයකට රයිගම ප්‍රදේශයේ වෙළෙඳසැලක් අසල කැබ් රථය නවතා වෙළඳසැලට ගොස් යළි කැබ් රථය වෙත පැමිණීමේදී මුදල් පසුම්බිය අස්ථානගත වී තිබේ.
වහා ක්‍රියාත්මක වූ උප පොලිස් පරීක්ෂකවරයා වෙළඳසැලේ සහ ආසන්න වෙළඳසැලක ආවේක්ෂණ කැමරා දර්ශන පරීක්ෂා කිරීමේදී පාපැදියකින් ඒ ආසන්නයේ ගැවසෙන පුද්ගලයෙකු පාපැදියෙන් පැමිණ රථය තුළ තිබූ මුදල් පසුම්බිය සොරා ගන්නා අයුරු සටහන්ව තිබූ බව පොලිසිය පවසයි.
බණ්ඩාරගම පොලිසියට අදාල උප පොලිස් පරීක්ෂකවරයා කරන ලද පැමිණිල්ලකින් අනතුරුව බස්නාහිර පළාත් බුද්ධි අංශයේ පොලිස් කොස්තාපල් 88934 කරුණාජීව මහතා ලබා දුන් තොරතුරක් මත සැකකරු පාපැදියෙන් යමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු මත්කුඩු පානයට තදින්ම ඇබ්බැහි වූවකු වන අතර මීට පෙර අවස්ථා කිහිපයකදී ගංජා සමඟ පොලිස් අත්අඩංගුවට පත් වූවෙකු බවද පොලිසිය කියයි.
ඔහු පානදුර පිංවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35ක පුද්ගලයෙකි.
718 Views
Comments