ඇමසන් වන මැද බෝරාවරු

ඇමසන් වන මැද වෙසෙන ලොකු කුඩා ගෝත්‍ර අතරේ තවත් කැපී පෙනෙන ගෝත්‍රයක් වන බෝරාවරු නම් සහමුලින්ම නිරුවත් ගෝත්‍රයක් නොවේ. ඔවුන් ශාක පත්‍ර ආශ්රයෙන් තුවා බඳු රෙදි විශේෂයක් නිෂ්පාදනය කරන අතර ගැහැනුද මිනිස්සු ද එම ඇඳුමෙන් තම යටිකය පමණක් ආවරණය කරගෙන සිටිති. මේ ඇඳුම නැත්නම් සාය විචිත්‍රය. විවිධ වර්ණවලින් අඳින ලද මෝස්තරවලින් මේ සායවල් විචිත්‍ර වී තිබේ. බෝරාවරු ඉක්‍යුටස් ප්‍රදේශයට ආවේ මීට සියවසකට පමණ පෙරාතුව බව කියති. කලින් ඔවුන් ජීවත් වූයේ වනයේ උතුරට වෙන්නටය. එහෙත් මහා පරිමාණ රබර් ව්‍යාපාරිකයෝ පැමිණ ඇමසන් වනය සිඳ බිඳ රබර් වැවීම ආරම්භ කළෝය. මෙහි ප්‍රතිඵලය වූයේ බෝරාවරුන්ට ඔවුන්ගේ සාම්ප්‍රදායික ඉඩකඩම් අහිමි වී යෑමය. බෝරාවරු ගංගාවක් දිගේ පහළට පහළට ගමන්කොට අන්තිමේ ඉක්යුටස්හි තම වාස භවනය ඉදිකර ගත්හ. බෝරාවරු ගෙවල් හැදීමට ද දක්ෂයන්ය. රූස්ස වන පෙතට රිංගා හොඳ ශක්තිමත් ගස් කපාගෙන ඒවා පාරුවක් සේ බැඳ ගඟ දිගේ ප්‍රවාහනය කිරීමට පුරුදුව සිටිති. ලී දඬු, මැටි ආදිය භාවිත කර හොඳ ගෙවල් තනාගන්නා මොවූහු ඇමසන් වනයේ වෙසෙන බොහෝ ගෝත්‍රවලට වඩා ශිෂ්ට සම්පන්නය. එසේම දියුණුය.
රෙදි විවීමට මෙන්ම විවිධ අත්කම් කිරීමට ද බෝරාවරු දක්ෂයෝය. ලස්සන ලස්සන බෝනික්කන්, වෙස්මුහුණු, විදින තුවක්කු ආදිය ඔවුන් නිෂ්පාදනය කරන අත්කම්ය.මේ අත්කම් මෙන්ම රෙදි වර්ග ද බෝරාවරු තමන් බලන්නට එන සංචාරකයන්ට විකුණා කාසි පනම් ලබාගනිති. බෝරාවරු නැටුමට ද ගැයුමට ද හපන්නුය. ඔවුන් සතුව බොහෝ වාද්‍ය භාණ්ඩ තිබේ. බෙර, ඔවුන් විසින්ම නිෂ්පාදනය කරගනු ලැබේ. මේ බෙරවලින් නැගෙන හඬ, ඔවුන් නැටුමට යොමුකරන සුලුය. බෝරාවරුන්ගේ උත්සවවලදී ඔවුන් රැයක් පුරාවට නටන්නට ද ගයන්නට ද සූදානම්ය. නමුත් මොවුන්ගේ සාම්ප්‍රදායික නැටුම්වල මහා ලොකු විශේෂාංග නොමැත. දිගු රිටක් ගෙන එය පොළවෙහි අනිමින් රවුමට ඇවිදීම, දිවීම, මදක් එහාට මෙහාට ඇඟ සෙලවීම වැනි ප්‍රාථමික අංගවලින් බෝරා නැටුම් සමන්විත වී තිබේ.
වර්තමානයේ බෝරා ජනගහනය 3,500ට වඩා වැඩි නැත. එහෙත් 1900දී පමණ බෝරාවරු 35,000ක් පමණ ජීවත් වූ බව කියති. ඔවුන්ගේ ගහනයට සිදුවූයේ කුමක්ද? ඔවුන්ගේ පළමු වාසභවනය රබර් සමාගම්කාරයන් බිලිගනිද්දී බොහෝ බෝරා තරුණයන් රබර් සමාගම්වලට සම්බන්ධ වූවා විය යුතුය. තරුණ පරපුර එසේ රබර් වවද්දී සාම්ප්‍රදායික අදහස් තිබූ බෝරාවරු පමණක් දකුණට පැමිණියහ. බෝරාවරු තම සංස්කෘතිය ගැන මහා ආඩම්බරයෙන් සිතන පිරිසකි.
1070 Views
Comments