ලොව පුරා ජනප්‍රිය වූ පිනෝකියෝ

යහපත් සමාජයක් තුළ බොරුවට ඉඩක් නැත. එම නිසා බොරු කීම වරදක් බව දරුවන්ට කියා දෙන්නේ ජීවිතයටම උගන්වන පාඩමක් ලෙසයි. පුංචි කාලේ විහිළුවට හෝ බොරුවක් කී විට සිතන්නටවත් ඉඩක් නැතිවම මගේ නාසය අතගා බැලූ අවස්ථා මට මතකය. ඒ පිනෝකියෝගේ මෙන් මගේ නහයත් දික් වේද යන බියෙන් ය. පිනෝකියෝ මා ආසාවෙන් කියවා රස විඳි කෘතියකි. ලොව පුරා වැඩියෙන්ම ජනප්‍රිය වූ ළමා කෘතිය ද මෙයයි. මෙහි ඇතැම් අංග බොහෝ රටවල සම්ප්‍රදායන් බවට පත් කරගෙන තිබීම එයට හොඳම සාක්ෂියකි. ළමයින් කියන බොරුවේ තරම ඔවුන්ගේ නාසයෙන් මැනිය හැකි බව වැඩිහිටියන් ඔවුන්ගේ දූ දරුවන්ට කියාදීම සිරිතක් විය.
මේ පිනෝකියෝගේ අයිතිකරු නැතිනම් භාරකරු ඉතාලි ජාතික ශ්‍රේෂ්ඨ ලේඛක කාලෝ කොලෝඩිය. ලේඛකයකු සහ ජනමාධ්‍යවේදියෙකු වශයෙන් සේවය කළත් ඔහු වඩාත් ජනප්‍රිය වූයේ පිනෝකියෝ චරිතයේ නිර්මාතෘවරයා වශයෙනි. සියවසකට අධික කාලයකට පෙර කොටස් වශයෙන් පිනෝකියෝ කතාව පුවත්පතකට ලියූ ඔහු 1883 දී ඒ ග්රන්ථයක් වශයෙන් පල කලේය. ඉන් නොනැවතී විවිධ මාධ්‍ය ඔස්සේ ළමයින් අතරට එන පිනෝකියෝ චිත්‍රපට රැසකට නැගී ඇත. වෝල්ටර් ඩිස්නි ඇතුළු නිෂ්පාදනයන් රැසක් ටෙලි චිත්‍රපට වලට නගා විවිධ භාෂාවලින් ලොව පුරා රූපවාහිනී නාලිකා ඔස්සේ ප්‍රචාරය වේ. මෙය භාෂා 200කට අධික සංඛ්‍යාවකට පරිවර්තනය කර ඇත. බයිබලය හැරුණුවිට වැඩියෙන්ම මුද්‍රණය වී ඇත්තේ මෙය කෘතිය බවයි පැවසෙන්නේ. පිනෝකියෝ දැවමය රූකඩයක් වුවද කොලෝඩි විසින් එය ලෙයින් මසින් සැදි සැබෑ ළමයෙකු සේ ජීවමාන කොට ඇති චරිතයකි. පිනෝකියෝගේ නොහික්මුණු ස්වභාවය ද, අසාමාන්‍ය ලෙස දඟකාරකම් පෙන්වමින් හැසිරුණු පිනෝකියෝ එනිසාම අනන්ත දුක් කරදර වල පැටලී වේදනා වින්දේය. දැවමය පිනෝකියෝ සැබෑ ළමයෙක් වූයේ ඒ දඟකාර ජීවිතය අත්හළ පසුවය. මහත් ළමා පරපුරට ම කතා රසයක් එක්කර දෙනවාට එහා ගිය කදිම ආදර්ශයක් ද සපයයි.”මං රූකඩයක්ව සිටි කාලයේ කොයිතරම් මෝඩකම් කලාද? දැන් මං සැබෑ ළමයෙක්. ඒ මෝඩකම් ආයෙත් කරන්නේ නැහැ.” එයින් ගම්‍ය කරනුයේ ළමයෙකු වුනත් තමන් කරන කියන දේ පිළිබඳ වගකීමෙන් කටයුතු කළ යුතු බවයි. ඒ අනුව අනුවණකමක් කළහොත් පුංචි ඔබට වුණත් ඉන් විඳින්නට වෙන කරදර හිරිහැර බොහෝයි. පිනෝකියෝ ග්‍රන්ථයේ අවසන් වැකි කිහිපය රූකඩයකුත් සැබෑ ළමයෙකුත් අතර වෙනස ළමයින්ට පෙන්වා දෙන්නට වෑයම් කරයි.
එහෙත් කොලෝඩිගෙන් පසු මෑත කාලයේදී පිනෝකියෝ චරිතය ඉදිරියට රැගෙන යමින් (Pinocchio in auto mobile) පිනෝකියෝ වාහනයක් පදවයි සහ පිනෝකියෝ විවාහ වෙයි (Pinocchio faces marriage) ආදී වශයෙන් වූ කතාව වර්ධනය කරමින් ලේඛකයින් විසින් කතා රචනා කර ඇත. එහෙත් ඒවා ජනප්‍රිය වූ බවක් නම් නොපෙනේ.
1890 වසරේ දී මිය ගිය කොලෝඩිට කෘතවේදීත්වය පළ කරනු පිණිස ඉතාලි ජාතිකයන් විසින් මෙම ශ්‍රේෂ්ඨ ලේඛකයා වෙනුවෙන් “ජාතික කාලෝ කොලෝඩි පදනම” නමින් පදනමක් පිහිටුවා තිබේ. කොලෝඩි නමින් උද්‍යානයක්ද ස්ථිර ප්රදර්ශනයක්ද පවත්වා ගෙන යාම සඳහා අරමුදලක් ද පිහිටුවා ඇත. එම අරමුදලේ සුවිශේෂී වන්නේ එහි මුදලින් ¼ ක්ම පරිත්‍යාග කර ඇත්තේ ඉතාලි ළමයින් විසින් වීමයි. තවද කොලෝඩිඩි උයන නමින් උද්‍යානයක් 1956 දී ඔහු උපන් ස්ථානයට ආසන්නව ඉදිකරන ලදී. එහි ලෝකඩයෙන් තැනුණු පියෝ ගේ රුවක්ද සුරංගනාවියගේ සහ කුරුල්ලා ගේ රුවක්ද ඇති අතර පිනෝකියෝ කතාවේ විවිධ සිද්ධීන් නිරූපණය කරන චිත්‍ර ඇතුළත් කෞතුකාගාරය කින්ද සමන්විත වෙයි. එමෙන්ම පිනෝකියෝ ග්‍රන්ථය විවිධ භාෂාවලින් පළවූ පිටපත් ද එහි තැන්පත් කර ඇත. මීට අමතරව ළමයින් සඳහා ඉදිකරන ලද අංගසම්පූර්ණ ක්‍රීඩා පිටියත් ද මෙහි ඇත. මේ සියලු දෙයින් පෙන්වා දෙන්නේ අමරණීය සාහිත්‍ය කෘතියක් ලොවට නිර්මාණය කර දුන් අසහාය ශ්‍රේෂ්ඨ ලේඛකයා පිනෝකියෝ සමගින් සදාතනික චරිතයක් වූ බවටයි.
By : Gihan Hapuhetti
Photo Source : Internet
2660 Views
Comments