ආසියාවේ පැරණිම කෞතුකාගාර වලින් එකක් වන කොළඹ ජාතික කෞතුකාගාරය

ලොව රටවල් 202ක කෞතුකාගාර 55,000ක් පමණ පවතින අතර වැඩිම කෞතුකාගාර සංඛ්‍යාවක් ඇත්තේ මෙක්සිකෝවේ මෙක්සිකෝ සිටි නගරයේයි. ශ්‍රී ලංකාවේ ක්‍රි.පූ. 3 වැනි සියවසේ සිට කෞතුකාගාර සංකල්පය පැවැති බව සඳහන් වුවද නවීන කෞතුකාගාර සංකල්පය මෙරටට හඳුන්වා දෙනු ලැබුවේ ඉංග්‍රීසි පාලකයන් විසිනි.
කොළඹ 7 ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත ඔස්සේ ගමන් කරන්නකුට ඇල්බට් චන්ද්‍රවංකයට මුහුණ ලා ඇති ධවල වර්ණ සුවිශාල ගොඩනැගිල්ලක් දිස්වෙයි. ඉතාලි ගෘහ නිර්මාණ ශිල්පය අනුව තනා ඇති මෙම ගොඩනැගිල්ලට මේ වනවිට වසර 140ටත් වඩා වැඩිය. එය අපේ ජාතික කෞතුකාගාරයයි. එය ශ්‍රී ලංකාවේ විශාලතම කෞතුකාගාරය මෙන්ම ආසියානු කලාපයේ ඇති බොහෝ කෞතුකාගාරවලට වඩා පැරණි කොළඹ ජාතික කෞතුකාගාරය විවෘත කෙරුණේ 1877 ජනවාරි 1 දා ය.
කෞතුකාගාරය ඉදිකිරීම සඳහා අක්කර හතක භූමියක් තෝරා ගැනුණු අතර ගොඩනැගිල්ලේ සැලසුම නිර්මාණය කිරීම බාර වූයේ ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ ගෘහ නිර්මාණ ශිල්පි ජේ.ජී. ස්මිදර් මහතා වෙතය. ඔහු ඉතාලියානු ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ සහිත අපූරු සැලසුමක් නිර්මාණය කළේය. එහි ඉදිකිරීම් කටයුතු අරාසි මරික්කාර් වපාචි මරික්කාර් නොහොත් වපාචි මරික්කාර් බාස් වෙත පැවරිණි. 1876 එහි ඉදිකිරීම් කටයුතු අවසන් වූ අතර ඒ සඳහා රුපියල් එක්ලක්ෂ දහනවදහස් නවසිය අනූ තුනයි ශත අනූ තුනක් වැයවී තිබිණි. ගොඩනැගිල්ල 1877 ජනවාරි 1 දින ආණ්ඩුකාරවරයා අතින් මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කෙරිණි. ආරම්භයේ දී පුරාවිද්‍යාත්මක අගයෙන් යුතු භාණ්ඩ සහ ශ්‍රී ලංකාවේ අත්කම් හා ස්වර්ණාභරණ වැනි භාණ්ඩ 1192ක් ප්‍රදර්ශනය සඳහා එහි තැන්පත් කර තිබිණි. ක්‍රමයෙන් එයට විවිධ භාණ්ඩ එක් වූ අතර පසුකාලයේ ඉඩකඩ මඳවීම හේතුවෙන් පුළුල් කිරීමට පියවර ගැනිණි.
වර්තමානයේ එහි ප්‍රදර්ශන ශාලා 16ක් දැකිය හැකිය. ඒවා නම් ප්‍රාග් ඓතිහාසික යුගය, අනුරාධපුර යුගය, පොළොන්නරු යුගය, සංක්‍රාන්ති යුගය, මහනුවර යුගය සහ පාෂාණ සහ පුරාවස්තු, චිත්‍ර, රෙදිපිළි, පිඟන් භාණ්ඩ, කාසි සහ මුදල්, ධජ පතාක, අත්කම් හා කලා ශිල්ප, අවි සහ යුද්ධෝපකරණ, චිරාගත චාරිත්‍ර, සාම්ප්‍රදායික කෘෂිකර්මය සහ ගෘහ භාණ්ඩ සඳහා වෙන්වුණු ප්‍රදර්ශන ශාලාය. ජාතික කෞතුකාගාරය සතු තවත් අගනා අංගයක් වන්නේ එහි පුස්තකාලයයි. කොළඹ නගරයේ තිබූ ආදිම පුස්තකාලය වශයෙන් සැලකෙන්නේ 1813 ආරම්භ කෙරුණු 'එක්සත් සේවා පුස්තකාලයයි. එය හමුදා නිලධාරීන් සඳහා වෙන්වූවක් විය. 1824දී කොළඹ පුස්තකාලය නමින් තවත් පුස්තකාලයක් තිබිණි. කෞතුකාගාර පුස්තකාලය ආරම්භ වූයේ කෞතුකාගාරය විවෘත කළ දිනයේමය.
By : Dilki Shamani
Photo Source : Internet
1548 Views
Comments