ජන අරගලයක් හේතුවෙන් බංග්ලාදේශ අගමැතිනියට ගෙදර යන්න වෙන හැඩක්

අගමැතිනි ෂෙයික් හසීනාට ඉල්ලා අස්වන ලෙසත්, වහාම මහා මැතිවරණයක් පවත්වන ලෙසත් බල කරමින් බංග්ලාදේශයේ විරුද්ධ පක්‍ෂ ආධාරකරුවන් උද්ඝෝෂණය කිරීමට පටන්ගෙන තිබේ.
බංග්ලාදේශ ජාතිකවාදී පක්‍ෂයේ ආධාරකරුවන් මේ ආකාරයෙන් වීදි බැස උද්ඝෝෂණය කිරීමට පටන්ගෙන තිබුණේ පසුගිය සෙනසුරාදාය.
ඔවුන් පවසන ආකාරයට ලක්‍ෂ දෙකකට ආසන්න පිරිසක් මෙම උද්ඝෝෂණවලට සහභාගි වී තිබිණි. නමුත් එරට ආරක්‍ෂක අංශ පවසා තිබුණේ එතරම් සංඛ්‍යාවක් ඊට සහභාගි වී නොසිටි බවයි.
රට තුළ විදුලිය කප්පාදු කිරීම්, ඉන්ධන මිල ඉහළ යෑම වැනි කාරණාවලට එරෙහිව මාස කිහිපයක සිටම වරින්වර විරෝධතා පැවැත්වෙමින් තිබිණි. මෙවැනි තත්ත්වයක් තිබිය දී පසුගිය අඟහරුවාදා එරට ආරක්‍ෂක අංශ විරුද්ධ පක්‍ෂයේ මූලස්ථානයට කඩා පැන එය සෝදිසි කිරීමට පියවර ගෙන තිබූ බව සඳහන් වේ.
එම අවස්ථාවේ ඇති වූ ගැටුම්වලින් පුද්ගලයකු මියගොස් තිබූ බවත්, තවත් 10 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා තිබූ බවත් වාර්තා විය. සෙනසුරාදා උද්ඝෝෂණ ආරම්භ වී තිබුණේ ඊට ප්‍රතිචාරයක් වශයෙන් බව පෙනේ.
‘අපේ ප්‍රධාන ඉල්ලීම වන්නේ අගමැතිනි හසීනා ඉල්ලා අස් වී පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බවයි. එයින් පසු භාරකාර රජයක් යටතේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්විය යුතුයි’ ජාතිකවාදී පක්‍ෂයේ මාධ්‍ය ප්‍රකාශක සහිරුද්දින් ස්වාපන් පවසා තිබිණි. කෙසේ නමුත් අගමැතිනි හසීනා පවසා ඇත්තේ තමා ඉල්ලා අස් නොවන බවයි.
උද්ඝෝෂණ අඩාළ කිරීම සඳහා රජය විවිධ පියවර ගෙන තිබූ බවද වාර්තා විය. බස් වර්ජනයක් පවා ක්‍රියාවට නැගූ බවට උද්ඝෝෂකයන් චෝදනා කර තිබිණි. එමෙන්ම පොලිසිය මාර්ග බාධක යොදා ආරක්‍ෂාව තර කර තිබූ බවද සඳහන් විය.
242 Views
Comments