ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පාපන්දු තරඟ තහනමක්?
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
27

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පාපන්දු තරඟ තහනමක්?

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පාපන්දු තරඟ තහනමක්?

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාවට අනුව කටයුතු නොකළහොත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පාපන්දු තහනමක් පනවන බවට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

 

ඒ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමිනි.

 

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඉකුත්දා ක්‍රීඩා පනතට නව රෙගුලාසි කිහිපයක් ඇතුළත් කළ අතර ඊට මේ වන විට ජාතික ක්‍රීඩා සංගම් රැසකින් විරෝධයක් එල්ලවෙමින් තිබේ.

 

එවන් පසුබිමකයි ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයටද ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් එම රෙගුලාසිවලට විරෝධය පළ කර ඇත.

 

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ප්‍රධාන සාමාජික සංගම් නිලධාරි කෙනි ජීන් මාරි විසින් යොමු කළ මෙම ලිපියේ දැක්වෙන්නේ පාපන්දු නිලවරණය සම්බන්ධයෙන් සිදුකෙරෙන බාහිර මැදිහත්වීම් පිළිබඳව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය දැඩි විරෝධ්‍ය පළ කරන බවය.

 

2022 සැප්තැම්බර් 22 සම්මත කර ගත් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාවට සහ කාලරාමුවට අනුකූලව පාපන්දු සම්මේලනයේ නිලවරණය පැවැත්විය යුතු බව එම ලිපියේ දැක්වේ.

 

මේ සඳහා ලබන වසරේ ජනවාරි 22 දක්වා කාලය ලබා දී ඇති අතර එසේ නොවුණහොත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පාපන්දු තහනමක් පනවමින් මූල්‍ය සම්බාධක පැනවීම පිළිබද සලකා බලන බවද එම ලිපියේ වැඩිදුරටත් දැක්වේ.



ක්‍රීඩා අමාත්‍යවරයා විදේශ ගතව සිටින බැවින් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය යොමු කළ අදාළ ලිපිය ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත භාරදීම සඳහා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ජස්වර් උමාර් සහ හිටපු ලේකම් උපාලි හේවගේ ක්‍රීඩා අමාත්‍යංශයට පැමිණියේය.

views

240 Views

Comments

arrow-up