පන්නිපිටිය දෙව්රම් විහාරයෙන් සුවිශේෂී සමාජ මෙහෙවරක්

පන්නිපිටිය දෙව්රම් වෙහෙර විහාරස්ථානයේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නොමිලේ, සුඛෝපභෝගී, අධි තාක්‍ෂණික උපකරණ සහිත සම්මන්ත්‍රණ ශාලාවක් සහ උත්සව ශාලාවක් එළඹෙන සඳුදා (20) දින විවෘත කිරීමට නියමිතය.
විහාරස්ථානයේ නිර්මාතෘ කොලොන්නාවේ සිරි සුමංගල හිමියන් පවසා ඇත්තේ මෙම සම්මන්ත්‍රණ ශාලාව සහ උත්සව ශාලාව ජනතාවට සම්මන්ත්‍රණ සහ දේශන වැනි සමාජ කටයුතු නොමිලයේ පැවැත්වීමට ඉදිකර ඇති බවත් සමාජ සේවය සඳහා මෙම පහසුකම් ලබාදීමේ අපේක්ෂාව සමාජයට වැඩදායී පුද්ගලයන් බිහිකිරීම බවත්ය.
මෙම සම්මන්ත්‍රණ ශාලාවේ එකවර පුද්ගලයන් 500 කට අසුන් ගැනීමේ හැකියාව ඇති අතර උත්සව ශාලාවද නවීනතම සුඛෝපභෝගී පහසුකම්වලින් සමන්විතව නිර්මාණය කර ඇති එක් උත්සවයක් සඳහා 200 කට පමණ සහභාගි විය හැකි එකක් බව වාර්තා වේ.
මංගල උත්සව පැවැත්වීමට අවශ්‍ය මගුල් පෝරුව වැනි සියලු පහසුකම් විහාරස්ථානය විසින් කිසිදු අයකිරීමකින් තොරව සපයනු ලබන අතර බෞද්ධ ආගමික පරිසරයක මංගල උත්සවයක් පැවැත්වීමට විහාරස්ථානයේ සංවිධායක කමිටුව පූර්ණ සහාය ලබා දෙනු ඇති බව සුමංගල හිමියන් සඳහන් කර ඇත.
තවද පරිසරයට බාධාවක් වන DJ සංගීතය හැර සරල සංගීතය වාදනය කිරීමට අවසර ඇති බවත් මංගල උත්සව ආගමික පසුබිමක පැවැත්වෙන බැවින් මත්පැන් භාවිතය සපුරා තහනම් බවත් උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කොට ඇත.
266 Views
Comments