කොත්තමල්ලි වලට රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කළ ගබඩාවක් වටලයි

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් කොත්තමල්ලිවලට රසායනික ද්‍රව්‍ය මිශ්‍රකරන ගබඩාවක් වැටලීමට කටයුතු කර තිබේ.
එහිදී අදාළ ගබඩාව පවත්වාගෙන ගිය සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 44ක් වු කල්මුණයිකුඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකායේ තිරුක්කෝවිල් කඳවුරේ නිලධාරීන් පිරිසක් සහ අම්පාර පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් පිරිසක් එක්වී මෙම වැටලීම සිදුකර තිබුණි.
වැටලීම සිදුකරන අවස්ථාවේදී සැකකරු විසින් අලෙවි කිරීම සඳහා ගබඩාව තුළ තබාගෙන සිටි සල්ෆර් පවුඩර් මිශ්‍ර කරන ලද කොත්තමල්ලි කිලෝ ග්‍රෑම් 2,125ක්, ප්‍රමිතියෙන් බාල කොත්තමල්ලි කිලෝග්‍රෑම් 8,275ක් සහ සල්ෆර් පවුඩර් කිලෝ ග්‍රෑම් 225ක් සොයාගෙන ඇත.
අම්පාර පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වයි.
246 Views
Comments