ඉඩම් සංවර්ධන සංස්ථාවෙන් ගෙවල් හදන්න අඩු මිලට මුහුදු වැලි

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පවසා සිටින්නේ මුහුදේ වැලි කියුබික් මීටර මිලියන දෙකක ප්‍රමාණයක් මේ වසර තුළදී ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට උපදෙස් ලබාදී ඇත්තේ සෝදා පිරිසිදු කර නියමිත ප්‍රමිතියට සකස් කරනු ලබන මුහුදු වැලි ජනතාවට දැරිය හැකි මිලකට අලෙවි කරන ලෙසයි.
මුතුරාජවෙල වෙරළේ සිට මීගමුව දක්වා මුහුදු තීරයේ කිලෝමීටර් දහයත් පහළොවත් අතර දුරකින් වූ ගැඹුරු මුහුදේ සිට ගොඩබිම දක්වා වැලි පොම්ප කිරීම සිදුකරනු ලබන අතර, ලවණ ඉවත් කළ මුහුදු වැලි ඉංජිනේරුවන්ගේ අධීක්ෂණය මත නියමිත ප්‍රමිතියකට සකස් කොට කෙරවලපිටිය මුතුරාජවෙල වැලි විකුණුම් මධ්‍යස්ථානයෙන් අලෙවි කිරීමට නියමිතව ඇත.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය උපදෙස් ලබාදී ඇත්තේ මුහුදු වැලි ලබා ගැනීමට පෙර වෙරළ සංරක්ෂණ අධිකාරිය, නාරා ආයතනය සහ මධ්‍යම පරිසර අධිකාරිය යන ආයතන වලින් පාරිසරික ඇගයීම් වාර්තා ලබා ගන්නා ලෙසයි.
මෙම වැලි කැණීම් ව්‍යාපෘතිය හේතුවෙන් බලපෑම් එල්ල වන කොළඹ සිට මීගමුව දක්වා වන මුහුදු තීරයේ ධීවර ප්‍රජාවගේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රුපියල් මිලියන දෙසීයක මුදලක් ලබාදීමට ද එම අමාත්‍යාංශය එකඟ වී ඇති බව වාර්තා වේ.
264 Views
Comments