මහ පාරේ රේස් පැද්ද යතුරු පැදි මුහුණට මුහුණ ගැටී අයෙක් මරුට - අනෙකාට බරපතළයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
16

මහ පාරේ රේස් පැද්ද යතුරු පැදි මුහුණට මුහුණ ගැටී අයෙක් මරුට - අනෙකාට බරපතළයි

මහ පාරේ රේස් පැද්ද යතුරු පැදි මුහුණට මුහුණ ගැටී අයෙක් මරුට - අනෙකාට බරපතළයි

බෝකුන්දර අයිසීසී මාර්ගයේදී තරුණයෙකු තරඟයට පැදවූ යතුරුපැදියක් සහ තනි රෝදයෙන් තවත් තරුණයෙකු පැදවූ යතුරු පැදියක් පසුගිය 14වනදා සවස මුහුණට මුහුණ ගැටී එක් තරුණයෙකු මිය ගොස් අනෙක් තරුණයා බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව පිලියන්දල පොලිසිය පවසයි.

 

අනතුරින් මියගොස් තිබෙන්නේ තරඟයට යතුරුපැදිය පැදවූ පිලියන්දල පැලවත්ත ගොරකපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි පවන් හේශාන් නමැති අවුරුදු 19 වයසැති තරුණයෙකි. 

 

බරපතළ තුවාල ලැබූ අනෙක් තරුණයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

 

මියගිය තරුණයා මිතුරෙකුගෙන් ඉල්ලාගත් යතුරුපැදියක් භාවිතා කරමින් තවත් තරුණයෙක් සමඟ බෝකුන්දර අයිසීසී මාර්ගයේ සිට හොරණ කොළඹ මාර්ගයේ දෙසට අධික වේගයෙන් ධාවනය කිරීමේදී මියගිය තරුණයා ඉදිරියෙන් යතුරුපැදිය ධාවනය කර ඇති අතර ඔහු ඉදිරියෙන් ගමන් ගත් මෝටර් රථයකට ඉස්සර කර මදක් ඉදිරියට යෑමේදී ඔහුගේම සමීපත මිතුරෙකු තනි රෝදයෙන් විරුද්ධ දිශාවේ සිට ඉදිරියට යතුරුපැදිය ධාවනය කර ඇති අතර එම යතුරුපැදිය මාර්ගයේ දකුණු දෙසට ඇදී යෑමේදී යතුරු පැදි දෙක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුරවී ඇතැයි පොලිසිය පවසයි. 

 


යතුරුපැදි දෙක මුහුණට මුහුණ ගැටී අනතුරුව තරඟයට සහභාගි වූ යතුරුපැදියේ සිටි තරුණයාගේ යතුරුපැදිය ඔහුත් සමඟ මීටර් තිහක් පමණ මාර්ගය දිගේ ඇදී ගොස් නැවතී ඇතැයි පොලිසිය සඳහන් කරයි. 

 

අනතුර සමඟම වහා ක්‍රියාත්මක වූ සෙසු තරුණයන් බරපතළ තුවාල ලබා සිටි තරුණයන් දෙදෙනා වේරහැර කේඩීයූ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගනු ලැබ ඇතැයි පොලිස් නිලධාරියෙකු පැවසීය.


ඒ වන විටත් එම තරුණයා මිය ගොස් සිට ඇතැයි පොලිසිය කියයි. 

 

අනතුරින් පසු මේ දක්වා මියගිය තරුණයා පැදවූ යතුරුපැදිය අතුරුදහන්ව ඇතැයිද පොලිසිය කියයි.

 

අනෙක් යතුරුපැදිය බෝකුන්දර ප්‍රදේශයේ යතුරුපැදි අලු‍ත්වැඩියා කරන ස්ථානයකට බාරදී තිබියදී ඊයේ පෙරවරුවේ සොයාගෙන ඇත.

 

මියගිය තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේදී සිදුකිරීමට නියමිතය.
 

views

315 Views

Comments

arrow-up