"දරුවෝ කියන්නේ දරුවෝ. දරුවෝ අතින් වැරදි වෙනවා" අරුන්දිකගේ පුතා ගැන නාමල් කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
03

"දරුවෝ කියන්නේ දරුවෝ. දරුවෝ අතින් වැරදි වෙනවා" අරුන්දිකගේ පුතා ගැන නාමල් කියයි

"දරුවෝ කියන්නේ දරුවෝ. දරුවෝ අතින් වැරදි වෙනවා" අරුන්දිකගේ පුතා ගැන නාමල් කියයි

අමාත්‍යවරයෙකුගේ දරුවෙකු වුව ද සාමාන්‍ය දරුවෙකු වුව ද යම් වරදක් සිදු කර ඇත්නම් ඔහුට අදාළව නීතිය ක්‍රියාත්මක කරන බව ක්‍රීඩා අමාත්‍ය අමාත්‍ය නාමල් රාජක්ෂ මහතා පවසයි.

 

රාගම වෛද්‍ය පීඨය තුළ දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා පොලිසියට භාර වී, අත්අඩංගුවට ගැනීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (පෙබ. 3) මාධ්‍යවේදියෙකු විමසූ අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළේ ය.

 

ඔහු සඳහන් කළේ, අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා යම් වරදක් කර ඇත්නම් දඬුවම් ලැබෙනු ඇති අතර ඔහු නිර්දෝෂී නම් එය ඔප්පු කිරීමට ද අවස්ථාව තිබිය යුතු බව ය.

 

මෙම සිදුවීම සම්බන්ධයෙන් ආණ්ඩුවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ද මාධ්‍යවේදියෙකු මෙහිදී විමසා සිටියේ ය.

 

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ආණ්ඩුව විශාල පිරිසකගෙන් යුක්ත වන බැවින් එක් එක් චරිත සහිත ආණ්ඩුව කළමනාකරණය කිරීමේදී මෙවැනි තාවකාලික අභියෝග පැමිණෙන බව ය.

 

එවැනි අභියෝගවලට මුහුණ දෙමින් ඒවා වළක්වා ගැනීමට උපරිම උත්සාහ දැරීමේදී ඇතැම් අවස්ථා වළක්වා ගැනීමට නොහැකි වන බව ද ඔහු පැවසීය.

 

එය "මිනිස් ස්වභාවය" වන අතර ඒ සම්බන්ධයෙන් කලකිරීමට පත් නොවී ඒවා හැකිතාක් අවම කරගැනීමට ත් වළක්වාගන්නට ත් සිදුවීමක් වූ අවස්ථාවකදී ක්‍රියාත්මක වීම ත් විය යුතු බව ඔහු සඳහන් කළේ ය.

 

"ක්‍රියාත්මක නොවී සිටියා නම් තමා ප්‍රශ්නේ. අමාත්‍යවරයෙකුගේ දරුවෙක් කියලා පොලිසියට ඉදිරිපත් නොකර හිටියා නම් තමා ප්‍රශ්නේ. එහෙම වෙලා නෑ. ඔහු පොලිසියට ඉදිරිපත් වෙලා තියෙනවා. දරුවෝ කියන්නේ දරුවෝ. දරුවෝ අතින් වැරදි වෙනවා."

 

තව ද අදාළ සිද්ධිය සඳහා නවක වධය හේතු වී ඇත්නම් ඒ සඳහා ඉතා දැඩි තීරණ ගත යුතුව ඇති අතර නවක වධය වළක්වාගැනීමට මැර බලය භාවිත කිරීම ද සිදු නොවිය යුතු බව ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ ය.

views

777 Views

Comments

arrow-up